සිනමාව, චලනය නෙළාගෙන, එහි ප්‍රති-නිෂ්පාදනය ඔස්සේ අප වෙනම අර්ථ ලෝකයක් කරා ගෙන යන මාධ්‍යයකි. ප්‍රකාශනවේදයක් ලෙස එය එහි කූඨය කරා යනතර දෘශ්‍ය කලාව තුළ එහි ශක්‍යතා අත්පත් කර ගනිමින් සිනමාත්මීය විධි-ක්‍රම බිහි වන්නට විය. සිනමාකරණයේ ජීව අරටුව වන චලන රූපයම අධ්‍යක්ෂවරයාගේ ප්‍රකාශනය තීව්‍ර කරනු වස් යම් නිශ්චිත ආස්ථානයක දී නිසල කිරීම බරපතළ සෞන්දර්ය වාහකයක් ලෙස භාවිතයට එක්ව ඇති අයුරු නිරික්සුම ආස්වාදනීය අත්දැකීමකි. ප්‍රංශ සිනමා නව රැල්ලේ නොමැකෙන නාමයක් වූ ප්‍රන්සුවා ට්‌රූෆෝගේ ‘400 බ්ලොස්’ (The 400 Blows-1959) සිනමා පටයේ අවසන් රූප-රාමුවෙන් එකී භාවිතය කියැවීමට හැකි ප්‍රබල කවුළුවක් ලෝකයට විවර කොට දී තිබේ.
චිත්‍රපටයේ කථානායකයා නව යෞවනයෙකි. ජිවිතයේ දිග-පළල පිළිබඳ අවබෝධයක් නොමැති ආස්ථානයකදී හෙතෙම යතුරු ලියනයක් සොරකම් කිරීමේ වරදට අත්-අඩංගුවට පත්වේ. එහිදී බාලාපරාධකරුවන් සඳහා වන පුනරුත්ථාපන සිරකඳවුරක ගාල් කැරෙන ඔහු, යම් අවස්ථාවක එතැනින් මිදී පලා යයි. ඒ අවදානාත්මක පලායෑම වනාහී කුතුහලය දනවන දිගු දිවයෑමකි. එකී දිවීමේ දුර තුළ සිනමාකරුවා ප්‍රේක්ෂක දෑස් යෞවනයා හා හඹා යෑමට සලස්වයි. අවසන යෞවනයා සිය දෙපයට විරාමය සටහන් කරන්නේ සයුරු වෙරළකට සම්මුඛ වීමෙනි. තව දුරටත් යා නොහැකි සීමාව සටහන් වන සාගරය අබිමුවට පැමිණ ඇති ඔහුගේ සමීප රූපයක් තිරය මත පතිත වන අතර, ඔහු යම් මන්දස්මිතයක් සහිතව, ප්‍රේක්ෂකාගාරය දෙස බලයි. රූපය නිසල වේ.
මේ නිසල කොට තැබූ රූපය, අද වන විට ලෝක සිනමාවේ ප්‍රබල නිශ්චල රූප භාවිතයක උදාහරණයකි. සිනමා පාසල් තුළ අධ්‍යයනයට ගැනෙන මුලාශ්‍රයකි. ඉමක් නොපෙනෙන සයුරත්, ඉක්බිති යා යුත්තේ කොහිද යන්නත්, ලද නිදහස නම් දෙයෙහි ඉදිරිය කුමක්ද, යන්නත් පිළිබඳ අවිනිශ්චිතතාවට මෙන්ම අප මෙම චරිත පිළිබඳ සමාජයක් වශයෙන් තීන්දු දෙන්නේ කෙලෙසද යන්නත් ලෙස විවෘත සිතා බැලීමකට එය විසින් අපව ඇද දමනු ලබයි. “එය තිරයක් මත මා දුටු ලස්සනම සිනහවයි” ප්‍රකට සිනමා සෞන්දර්යවාදියෙකු වූ තිස්ස අබේසේකර ලාංකේය සහෘදයා වෙත වරක් ලියු ලිපියක සටහන් කොට තිබුණි.
එය එසේ වන විට, එහි අභාසය ලද අසල්වැසි ඉන්දීය සිනමා පටයක කූඨප්‍රාප්තිය වෙත ඔබේ ඇස යොමුකරමි. නග්රාජ් මන්ජ්ලේ නම් මෑත කාලින මරාති සිනමා අධ්‍යක්ෂවරයා, කුල-හීන, අව-වරප්‍රසාදිත ජබ්යා නම් නම් නව යෞවනයෙකුගේ චරිතය ප්‍රස්තුත කොට ‘ ෆැන්ද්රි ‘ (Fandry-2013) නම් චිත්‍රපටයක් නිර්මාණය කළේය. කුල පීඩනය හා දරිද්‍රතාව මත, සිහින තුළ පමණක් ජිවන අභිලාෂයන් ඉටුවන ඔහු මත සමාජයෙන් පතිත කරනු ලබන උසුළු-විසුළු වෙත එල්ල කරනු ලබන ප්‍රති ප්‍රහාරය සනිටුහන් වන්නේ ‘400 බ්ලොස්’ අභාසයෙන්,එහෙත් ඊට වෙනස්ව ගොඩනැඟුණු සිනමාත්මකයකින් වන අතර, එය ලැබූ ප්‍රේක්ෂක ප්‍රතිචාර වලින් කියැවුණේ ” චිත්‍රපටය අවසානයේ අපි පුටු වලින් ඇදගෙන වැටුණා” යන්නයි.
ලෝකය දැන් කුඩා ය. එම සිනමා පටය ඔබට මේ මොහොතේද, නැරඹිය හැකි ය.
විකුම් ජිතේන්ද්‍ර