Home » නීතියෙන් ඔබ්බේ ප්‍රචණ්ඩත්වය අත්හැරීම

නීතියෙන් ඔබ්බේ ප්‍රචණ්ඩත්වය අත්හැරීම

by mahesh
December 18, 2024 1:00 am 0 comment

සමාජ දේශපාලන ප්‍රචණ්ඩත්වය ට එරෙහිව වර්තමානයේ ලාංකීය සමාජය තුළ යම් ආකාරයක සාධනීය කතිකාවක් ගොඩ නැඟෙමින් තිබීම බෙහෙවින් සතුටුදායක ය. අපගේ අරමුණ ප්‍රචණ්ඩත්වයට එරෙහිව පුළුල් සමාජ සිතීමක් හා මැදිහත් වීමක් සඳහා ප්‍රවේශයන් හඳුනා ගැනීමේ සංවාදයක් ආරම්භ කිරීම ය.

දෙසැම්බර් 10 වෙනි දිනට යෙදී තිබූ 76 ජාත්‍යන්තර මානව හිමිකම් දිනය ධරණි තලය මත අප පසු කරනුයේ මානවහිමිකම් උල්ලංඝණය කිරීම හා මනුෂ්‍යත්වයට එරෙහි සාපරාධී අපරාධයන් සිදුකිරීමෙහිලා පවතින දරුණු තත්ත්වයන් අභිබවා යාමට, සමනය කිරීමට මෙතෙක් ජාත්‍යන්තර ප්‍රජාව අසමත් සංදර්භයක් තුළ ය. 21වන ශත වර්ෂයේ ඉතාම දියුණු විද්‍යාත්මක තාක්ෂණ යුගයක් තුළ මනුෂ්‍යත්වය බලය සඳහා කෙරෙන අනවරත ගෝත්‍රික අරගලයන්ගේ මනෝභාවයන් ගෙන් මිදීමට අපොහොසත් වීම බරපතළ ඛේදවාචකයකි .

ජනවාර්ගිකත්වය, වර්ණය, ආගම, භාෂාව, ලිංගිකත්වය හෝ සෙසු කවර සාධකයක් මත මනුෂ්‍යත්වය වෙනස්කමකට, සැහැසිකමකට භාජනය නොවිය යුතුය යන උපකල්පනය මත පදනම්ව 20වන සියවස මැද ඇති කර ගත් විශ්වීය සම්මුතිය අපගේ ඇස් පනා පිටම බොහෝ රාජ්‍යයන් තුළ උල්ලංඝණය කරමින් පවතී. ඒ හරහා වාර්ෂිකව මිලියන ගණනක් ජනයා ලොවෙන් තුරන් කරනු ලබයි. එසේ මනුෂ්‍යත්වය ට එරෙහි බරපතළ සාපරාධයන් අඛණ්ඩව සිදුවෙමින් පවතිනුයේ ඒවා මැඩ පැවැත්වීමට අවශ්‍ය නීති රීති සම්මුතීන් ප්‍රමාණවත් නොවීම නිසාද, නැතිනම් මානව පරිකල්පනය මේ දක්වා මනුෂ්‍යත්වය සමාන ලෙස පිළි ගැනීමේ හා අත්විඳීමේ මානවීය මනෝභාවයන් කරා ළඟාවී නැති නිසාද? මේ පිළිබඳ වන සංවාදයේදී මම මෙහි සඳහන් දෙවන සංකල්පය පිළිබඳ අවධානය යොමු කරනු කැමැත්තෙමි .

අපගේ අදහස නම් ඕනෑම රාජ්‍යයක වර්තමානයෙහි මානව හිංසනයට, ප්‍රචණ්ඩත්වය ට හා ඝාතනයට එරෙහි ප්‍රමාණාත්මක නීති රීති පවතී. වසර දහස් ගණනක් ඔස්සේ ආගමික ශාස්තෘවරුන්ගේ හා දාර්ශනික ඉගැන්වීම් හරහා මනුෂ්‍යත්වය පිළිබඳ පොදු ඒකමිතියක් ගොඩ නැංවීමට හා හිංසනයෙන් වැළකීමටත් සාමකාමී සහජීවනය පිළිබඳ මතවාදයන්ද ගොඩ නංවා ඇත. එහෙත් ඒ සංකල්ප මතවාද, බලය අත්පත් කර ගැනීමේ, පවත්වාගෙන යාමේ හා බලය ව්‍යාප්ත කිරීමේ ක්‍රියාවලියේදී හා භෞතික සම්පත් අත්පත් කර ගැනීමේ හා පරිභෝජන ක්‍රියාවලියේදී ඉතාම බරපතළ අභියෝගයකට ඓතිහාසිකව මුහුණපායි.

එසේ නම් මේ ව්‍යසනය, සාපරාධය නීතිමය ව්‍යුහයක් තුළින් වෙනස් කළ හැකිද? ලොව කිසිදු රාජ්‍යයක මානව හිංසනය සමූල ඝාතනය, මානව සංහාරය නීති ගත කර නොමැත. එහෙත් ගැටුම්කාරී අර්බූදකාරී සෑම අවස්ථාවකම ලොව ඕනෑම රාජ්‍යයක් තුළ සිදුවන මානව සංහාරයන් අදාළ රාජ්‍යය හෝ දේශපාලන පාර්ශ්වයන් විසින් සාධාරණීකරණය කරන අතර එය යුක්ති සහගත සංහාරයක් ලෙස හුවා දක්වයි. එමගින් එම සමාජ දේශපාලනය තුළ එම ඝාතන,සංහාර පිළිගැනීමකට වලංගු භාවයකට නැතිනම් වක්‍රාකාරයෙන් නීත්‍යානුකූල බවට පත් කරනු ලබයි. සමස්ත සමාජ පද්ධතියක් එයට එරෙහිව මැදිහත් වීමකින් තොරව නිහඬ දරා ගැනීමක් සිදු කරයි.

අද ගාසා තීරයේ හෝ යුක්‍රේනයේ හෝ ලොව කොහේ හෝ සිදුවන බරපතළ මිනිස් සංහාරයන් හා නිජබිමෙන් පලවා හැරීම්, අවතැන් කිරීම්, කුසගින්නේ මියැදෙන්නට පසුතල සැකසීම් ජාත්‍යන්තර වශයෙන් හෙළා දකිනු ලැබුවද, ඒවා මැඩ පැවැත්වීම සඳහා ජාත්‍යන්තර සංවිධාන හා සම්මුතීන් නීති පද්ධති පැවතුණද, මනුෂ්‍යත්වය ට එරෙහි ප්‍රචණ්ඩත්වය නවතාලීමට මෙතෙක් අසමත්ව ඇත්තේ ඇයි යන්න නව මානයකින් සංවාදයට ගත යුතුව ඇත. සමස්ත ලොව මිනිස් ප්‍රජාවක් ලෙස සාමූහිකව මේ සංවාදයට පිවිසිය යුතු ය. තව දුරටත් කිසිදු වර්ගීකරණය ක් නිසා මානවයන් ඝාතනය කරනු ලැබීමට ඉඩ දී එය තම රාජ්‍යයෙන් බාහිර හෝ වෙනත් රාජ්‍යයක අභ්‍යන්තරික ගැටළුවක් ලෙස සංජානනය කිරීමෙන් බැහැර ව මෙය මානව වර්ගයාගේ පොදු අර්බූදයක් ලෙස අවධානය යොමු කරමින් සමස්ත ලොවම දේශපාලනික වශයෙන් මෙයට එරෙහිව හඬනැඟිය යුතුය. පෙනී සිටිය යුතුය.

යම් ගෝලීය දේශපාලන අර්බූදයකදී ගැටුම්කාරී තත්ත්වයකදි දැනට ගොඩ නැංවී ඇති මැදිහත්වීමේ ව්‍යුහාත්මක සීමා අතික්‍රමණය කරමින් ලොව සෑම මානවයෙකුටම මෙම මානව සංහාරයට එරෙහිවීමේ අයිතිය පිළිගනිමින් බලාත්මක විය යුතුය. නෛතික රාමුවකින් ඔබ්බේ මානවයා පිළිබඳ සිතා බලන අවබෝධාත්මකව මානවයාට සමීප වන සමාජ දේශපාලන සංස්කෘතියක යුගයක් කරා අප එළඹීය යුතුය.

ලංකාවේ නව රජය විසින් වාර්ගික ප්‍රචණ්ඩත්වය ට එරෙහිව මැදිහත්වීමේ ප්‍රවේශයේදීද, හඳුනා ගත යුත්තේ ලාංකීය සමාජ මනෝභාවයන් මනුෂ්‍යත්වය සමාන ලෙස පිළිගනු ලැබීමේ ශිෂ්ට සම්පන්න සංස්කෘතියක් ගොඩ නැංවීම සඳහා මැදිහත්වීම ය. ඓතිහාසිකව විකාශනය වූ වර්ගවාදී ආධිපත්‍යය පිළිබඳ මතවාදයන් අහෝසි කිරීම දුෂ්කර කාර්‍යයක් බව අවිවාදිත ය. එහෙත් රාජ්‍ය අධිපති මතවාදය වර්ගවාදයට එරෙහිව ගොඩ නංවමින් අධ්‍යාපනය, මාධ්‍ය, ආගමික සංස්ථා හා සියලු මතවාදී යාන්ත්‍රණයන් හරහා සමාජ සංහිදියාව, සාමකාමී සහජීවනය පිළිබද නව අරුත් සමාජගත කිරීමේ ක්‍රියාවලිය සිදු කළ හැකිය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හෝ නව ත්‍රස්ත විරෝධී පනත් හරහා සමාජ මනෝභාවයන් සිර කිරීමට වඩා හුදු නීති රීති වලින් ඔබ්බේ මානවීය අයිතීන් පිළි ගනු ලැබීම, ගරු කරනු ලැබීම හා තහවුරු කිරීමේ මානවීය සංවාදයක් ගොඩ නැංවීම මගින් අපගේ ප්‍රගතිශීලි සිතීම්හි ඉදිරි මාවතක් විවර වනු ඇත. එම මාවත සමාජ දේශපාලන පරිකල්පනය පුළුල් කරමින් යුක්තිය හා සමානත්වය පිළිබඳ සියුම් සංජානන ක්‍රියාවලියක් ඔස්සේ නව මානව ඒකාග්‍රතාවක් ලාංකේය දේශපාලන සමාජ සංදර්භය තුළ ගොඩ නංවනු ඇතැයි සුභවාදී ව අපේක්ෂා කරමි.

තිලිනා වීරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT