Home » ලිබරල්වාදය ඉවරයිද?

ලිබරල්වාදය ඉවරයිද?

by mahesh
December 18, 2024 1:00 am 0 comment

ලිබරල්වාදය යනු දහ නව වන සියවසේ මැදභාගයේ සිට ශතවර්ෂ එක හමාරකට වැඩි කාලයක් පුරාවට අප ජීවත්වෙන සමාජය හැඩගස්වන ලද සමාජ සහ ආර්ථික දර්ශනවලින් ප්‍රමුඛත්වය ගත් එකකි. නූතන ප්‍රජාතන්ත්‍රවාදය, පුද්ගල අයිතීන් හා නිදහස, නිදහස් වෙ‍ෙළඳපොළ වගේම රාජ්‍ය මැදිහත්වීම් වගේ වටිනාකම් පද්ධතීන් හැඩගැහෙන්නෙ මේ වටා ය. මෑත දශකවල ලෝක දේශපාලනය ගැන උනන්දු විද්වතුන් අවධාරණය කර ඇති පරිදි ලිබරල්වාදය එහි අවසානය කරා ළංවෙමින් තිබේ. ජනප්‍රියවාදය, ජාතිවාදය පදනම් කරගත් නායකයින් බලයට පත්වීම, ආදායම් විෂමතාවය, පාරිසරික ඛාදනය සහ දේශගුණික විපර්යාස මීට නිදසුන් ය. ප්‍රාදේශීයව බලන විට මීට අමතරව බොහෝ ක්ෂේත්‍රයන්ගේ සියුම් ලෙස මේ ලිබරල්වාදයේ කාන්දුවීම් දකින්න පුළුවන්.

Patrick J. Deneen කියන්නෙ, ලිබරල්වාදයේ අවසානය කියන්නෙ එහි අසාර්ථකත්වය නිසා සිදුවෙන දෙයක් නෙමෙයි ඉන් මතු කළ වටිනාකම්වල කෙළ පැමිණීම නිසා එහි ස්වභාවික අවසානයකට ළඟා වීමක් කියලයි. Immanuel Wallers tein ගේ End of Modernity (1995) පත්‍රිකාවට අනුව ලිබරල්වාදය ඇරඹෙන්නේ ලෝක ධනපති ක්‍රමයේ අරටුවේ පවතින රටවල්වලයි. නූතන ලෝකය මුහුණදෙන ගැටලුවලට විසඳුමක් විදියටයි. ඒ වගේම තමයි, ලෝක ධනපති ක්‍රමය ව්‍යාප්ත කිරීමට ලිබරල්වාදය තරම් කාර්යයක් වෙන කිසිම යටත්විජිතකරණ වැඩ පිළිවෙළකින් කෙරෙන්නෙ නෑ.

වොලර්ස්ටයින්ට අනුව නූතනත්වයේ ප්‍රධාන කොටස් දෙකක් තිබෙනවා. පළමුවැන්න තාක්ෂණයේ නවීකරණය සහ නිදහසේ නවීකරණය. දෙවැන්න අවධානය යොමු කරන්නෙ කොහොමද සාධාරණ සමාජයක් හදන්නෙ කියන එක ගැනයි. මේ දෙක අතර ඇතිවෙන පරස්පරතාවය සමථයකට පත් කරන්න ඕනෙ කරන වටිනාකම් පද්ධතියක් තමයි ලිබරල්වාදය. වොලර්ස්ටයින් ට අනුව ෆැසිස්ට් සහ කමියුනිස්ට් රාජ්‍යයන්ගෙ බිඳවැටීම එක්ක වාමාංශික සහ දක්ෂිණාංශික දේශපාලන කඳවුරු දෙකම මැදපිළිවෙතකට ගේන්නෙ ලිබරල්වාදය යි. ඔහුගේ ලිපියට අනුව ලිබරල්වාදයේ කඩාවැටීම ආරම්භ වෙන්නෙ 1968 ලෝකය පුරා ලිබරල් ක්‍රමයට එරෙහි විරෝධතා රැලි එක්ක. ඒවායේ කේන්ද්‍රය විදියට සැළකෙන්නෙ ප්‍රංශය යි. අමෙරිකාව කියන්නෙ ලිබරල්වාදයේ ප්‍රතිමූර්තියක් හැටියට තමයි සැළකෙන්නෙ. නිදහස් වෙ‍ෙළඳපොළට සහ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවකට ලිබරල් වටිනාකම් සේරම අත්පත්කරගත හැකියි කියන කාරණය මත තමා සියවස් දෙකක අමෙරිකානු ඉතිහාසය ලියවෙන්නෙ. කෙසේවෙතත් ජනප්‍රියත්වය සහ ජාතිවාදය මත අමෙරිකාවේ දේශපාලන නායකත්වය තීරණය වීම වැනි කාරණා දේශපාලන විචාරකයින්ට අනුව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ දුර්වල වීමක්.

අ‌ෙමරිකාව උත්කර්ෂයට නංවන පුද්ගල නිදහස අ‌ෙමරිකාවටත් වඩා හොඳට අත්පත් කරගන්නා කැනඩාව සහ සමහර යුරෝපීය රටවල් පවා වෙනත් ආකාරවලින් ලිබරල්වාදය පදනම් කරගත් ජීවන ක්‍රමයේ අන්තය දකිමින් ඉන්නා අවස්ථාවන් පේන්න තිබෙනවා. ගිය වසරේ කැනඩාවේ euthanasia නැත්නම් වෛද්‍ය සහය තුළින් ජීවිතය අවසන් කිරීම පිළිබඳ ව්‍යාපෘතියකට විශ්ලේෂණයක් කරන්න මට අවස්ථාවක් ලැබුණා. පුද්ගල නිදහස අධිකව අගය කරන රටක් විදියට කැනඩාව මුහුණ දෙන euthanasiaවලට කරන ඉල්ලීම් ගැටළුකාරී තත්ත්වයකට ගිහින් තිබෙනවා. විශාදය වැනි මානසික රෝග ඇති පුද්ගලයන්, යම් දරුණු නොවන අසනීප තත්ත්වයක් නිසා තමන්ව තව කෙනෙකුට බලාගන්න වෙනවාට අකමැති අය සහ නිවාස අහිමිව පාරේ නිදාගැනීමට සිදුවන අය පවා, ඒ හේතු මත තමන්ට ජීවිතය තොර කර ගැනීමට අයිතියක් ඇති බවට තර්ක කරනවා. මේවාට පිළිතුරු සපයන්නන් කියන්නේ නිසි සමාජ ආරක්ෂණ ජාලයකින් සහ ප්‍රජා මූලික සංස්කෘතියක් හරහා විසඳිය හැකි තත්ත්වයන් දිවි තොර කිරීමෙන් විසඳිය යුතු නැති බවයි. ඒ වගේම සැමට සමාන සෞඛ්‍ය පහසුකම් නැති අමෙරිකාව වගේ රටකට මෙවැනි දිවිතොර කිරීම් පොදු සෞඛ්‍ය පහසුකම්වලට ආයෝජනය නොකර කෙටි මාර්ගයකින් පුරවැසියන්ගේ ජීවිත නැති කිරීමට වක්‍රව උත්තේජනයක් ඇති කරන්න ඉඩ තිබෙන බවත් ප්‍රකාශ කෙරෙනවා.

‍නිදහස් වෙ‍ෙළඳපොළ පදනම් කරගත් ලිබරල් ක්‍රමයක් තුළින් සැමට සාධාරණ සමාජයක් ඇති කිරීමට නොහැකි බව පිළිගන්නා ධනවාදයේ කේන්ද්‍රයේ පවතින රටවල් ඊට විසඳුමක් ලෙස හඳුන්වා දෙන සුබසාධන රාජ්‍යයන්ද, ඒවාටම අනන්‍ය වූ ගැටළුවලට මුහුණ දෙමින් සිටිනවා. එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවය වගේම උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයනුත් මේ කාලයේ දැඩි අර්බුදවලට මුහුණ දීම මීට එක උදාහරණයක්. Yuval Noah Harari ට අනුව AIවල නැඟ ඒමත් සමග දැවැන්ත “useless class” එකක් සහ Techno elites ලා බිහිවීමට නියමිතයි. මේක සමාජය තුළ විශාල අසමතුලිතතාවක් ඇති කිරීමටත්, ලිබරල් ක්‍රමය තවදුරටත් අර්බුදයට ලක් කිරීමටත් නියමිතයි.අද අපි මීට දශකයකට හෝ දෙකකට පෙර භාවිත කළාට වඩා සම්පත් ලෝකයක් ලෙස භාවිත කරමින් හිටියත්, ඔබටත් මටත් සුඛෝපභෝගී හෝටලයක හෝ ගුවන් සේවයේ ඉකොනොමි පන්තියේ මීට වසර දහයකට කලින් ලබාගන්න පුළුවන් වුණු සේවය ලබාගන්න බෑ. සම්පත් භාවිතය සහ නාස්තිය වැඩිවෙලා තිබුණත්, ඔබ සහ මම විවිධ තත්ත්වයන් යටතේ පෙර නොවූ විරූ හිඟ කමකටත් මුහුණදෙමින් ඉන්නවා. ධනවාදී රටවල් පිරිසිදු කම පවත්වා ගනිමින් කුණු අපනයනය කරනවා. තිරසර සංවර්ධනය පවත්වා ගැනීමට කුණු ව්‍යාපෘති සහ කර්මාන්ත තුන්වෙනි ලෝකයට outsource කරනවා. අපි පරිසරයට කරන හානිය ගැන අපිට ගිල්ට් නොවෙන විදියට කටයුතු කරන්න ලිබරල් ධනවාදී ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙනවා. Recycling කරන්න පුළුවන් නිසා ඕනෙ තරම් භාණ්ඩ පාවිච්චි කරන්නත්, ඉවත හෙළන්නත් පුළුවන් බව අපිට අදහසක් ඇති වෙලා තියෙනවා. නමුත් ලෝකයේ ඇත්තටම ප්‍රතිචක්‍රීකරණය කරන්නෙ 10% ක් වගේ පොඩි ප්‍රමාණයක් බවත්, ප්‍රතිචක්‍රීකරණයට වැයවෙන බලශක්තිය ගත්තම ප්‍රතිචක්‍රීකරණය කියන්නෙ එතරම් සාර්ථක විසඳුමක් නොවෙන බවත් කියැවෙනවා.

තනිපුද්ගල නිදහස සහ අයිතීන් මත පදනම් වූ ලෝක ක්‍රමයක් බිඳවැටෙමින් තිබෙන කාල පරිච්ඡේදයක ඊට විසඳුම ලෙස අන්‍යෝන්‍ය සහ ප්‍රජා සහයෝගය මත පදනම් වූ ලෝක ක්‍රමයක් ගැන අපට බලාපොරොත්තු තබා ගත හැකිද? සමහර රටවල් දැනටමත් ලිබරල් ක්‍රමයෙන් මගහැරුණු මිනිසුන්ගේ/ ආන්තික කණ්ඩායම්වල සුබසාධනය සඳහා ප්‍රජා සහබලගැන්වීම් සහ ප්‍රජා මූලික නිවාස සහ අනෙකුත් වැඩපිළිවෙළවල් කරමින් ඉන්නවා. මෙවැනි ලෝක දැක්මක් මුල් කරගත් අභිවෘද්ධියකට රටක් ලෙස අපට යෑමට ඇති ඉඩ තවමත් අනෙකුත් රටවලට වඩා වැඩි බව අවුරුදු ගණනක සිට මම විශ්වාස කරනවා.

ආචාර්ය කෞශල්‍යා හේරත්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT