Home » නව යෞවන යෞවනියන් අලුතෙන් සොයාගත් මාග්‍රට් මීඩ්

නව යෞවන යෞවනියන් අලුතෙන් සොයාගත් මාග්‍රට් මීඩ්

by mahesh
December 18, 2024 1:00 am 0 comment

අමෙරිකානු මානව විද්‍යාඥවරියක වූ මාග්‍රට් මීඩ් උපත ලැබුවේ 1901 දෙසැම්බර් 16 දින ය. 1925 දී ඇය සමෝවා දූපතක් වන Ta’u වෙත ගිය අතර එහිදී ඇය නව යොවුන් වියේ දරුවන් පිළිබඳ අධ්‍යයනයට කැප වූවා ය.

1926 දී ආපසු පැමිණි ඇය ඇගේ පළමු පොත වූ Coming of Age in Samoa කෘතිය රචනා කළා ය. (පසුව එම කෘතිය බොහෝ භාෂාවලට පරිවර්තනය කරන ලදී.) එමගින් ඇය ප්‍රකාශ කර සිටියේ නව යොවුන් වියේ ගැටළු ස්වාභාවික නොවන බවත්, ඊට ජීව විද්‍යාත්මක පදනමක් නොමැති බවත්, අප අත් දකින නව යොවුන් වියේ ගැටළු සංස්කෘතිකමය හේතු මත පැන නඟින බවත් ය.

එහිදී මීඩ් කරුණු සහිතව පෙන්වා දුන්නේ බටහිර රටවල, විශේෂයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ නව යොවුන් වියේ දරුවන් මුහුණ දෙන පුද්ගලික දුෂ්කරතා සෑම සමාජයකටම පොදු නොවන බවයි. ඒවා ප්‍රධාන වශයෙන් සමාජය විසින් උත්පාදනය කරන ලද ගැටළු බව ය.

සමෝවාහි යෞවන යෞවනියන්ට ශාරීරික, අනන්‍යතා, ලිංගික සහ සමාජ පරිණතභාවයට ළඟා වීමට නිදහස ලබා දෙන අතර එය කිසියම් ක්‍රමවේදයක් අනුව සකස් කිරීමක් සිදු නොකරයි. ඒ නිසා ඔවුන් බටහිර රටවල නව යොවුන් වියේ යෞවන යෞවනියන් මුහුණ දෙන අර්බුදවලින් හා දුෂ්කරතාවලින් පීඩා විඳින්නේ නැති බව ඇය ලෝකයට අනාවරණය කළා ය.

පසුව මීඩ්, පැපුවානිව්ගිනියාවට ගිය අතර එහිදී ඇය මානුස් දූපත් ජනගහණය අතර ළමා සංවර්ධනය සහ නව යොවුන් වියේ හැසිරීම් අධ්‍යයනය කිරීමට කැප විය. 1935 දී ඇය නිව්ගිනියාවේ අරපේෂ්, මුන්ඩුගුමෝර් සහ ත්චම්බුලි නමැති ප්‍රාථමික ජන කණ්ඩායම් තුනක් මත සිදු කරන ලද පර්යේෂණ මත පදනම්ව “ලිංගිකත්වය සහ ස්වභාවිකත්වය” නම් කෘතිය ප්‍රකාශයට පත් කළාය.

එම කෘතිය තුළදීත්, ඉන් පසුකාලීනවත් ඇය ප්‍රකාශ කරනු ලැබුවේ විවිධ සමාජ කණ්ඩායම් අතර ලිංගික භූමිකාවන් වෙනස් වන්නේ ජීව විද්‍යාත්මක සාධක වලට වඩා සංස්කෘතික සාධක වල බලපෑම් හේතුකොට ගෙන බව ය. ඇය ලෝකයට දායද කළ දෑ අදටත්, හෙටටත් වලංගු ය.

වෛද්‍ය ධම්මික පටබැඳි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT