Home » කරුමය වෙනුවට උරුමයට ඉඩක්
සංක්‍රමණික ශ්‍රමයට නිසි තැනක්

කරුමය වෙනුවට උරුමයට ඉඩක්

by mahesh
December 18, 2024 1:00 am 0 comment

ජාත්‍යන්තර සංක්‍රමණික ශ්‍රමිකයින්ගේ දිනය අදට (18) යෙදී තිබේ. 2000 වසරේ දෙසැම්බර් 4 වන දින මහා සභාවට ගෙන ආ යෝජනාවක් අනුව සෑම වසරකම දෙසැම්බර් 18 දින ජාත්‍යන්තර සංක්‍රමණික ශ්‍රමිකයින්ගේ දිනය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කරන ලදී. “සංක්‍රමණිකයන්ගේ දායකත්වයට ගරු කිරීම සහ ඔවුන්ගේ අයිතිවාසිකම්වලට ගරු කිරීම” යනු මෙවර තේමාවයි.

ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත සංක්‍රමණිකයන්ගේ අගනා දායකත්වය පිළිබඳ අවධානය යොමු කිරීමට ජාත්‍යන්තර සංක්‍රමණිකයන්ගේ දිනය විශේෂ අවස්ථාවක් ලබා දෙයි. සංක්‍රමණික කර්මාන්ත ක්ෂේත්‍රයේ දිනෙන් දින වැඩි වන සංකීර්ණ තත්ත්වයන්, ජාතික හා ජාත්‍යන්තර ප්‍රවණතාවන් කෙරෙහි අවධානය යොමු කිරීමටද, මෙම මොහොත අතිශය වැදගත් ය. ගැටුම්, දේශගුණය ආශ්‍රිත ව්‍යසන සහ ආර්ථික පීඩනයන්, ආරක්ෂාව හෝ සරලව අවස්ථාවක් සොයා මිලියන සංඛ්‍යාත ජනතාවක් තම නිවෙස්වලින් පිටමංවීම අඛණ්ඩව සිදුවෙයි.

එක්සත් ජාතීන්ගේ නිල වෙබ් අඩවිය පෙන්වාදෙන පරිදි පවතින සහ නව අර්බුද හරහා මානුෂීය අවශ්‍යතා ඉහළ යෑම මෙන්ම ඛේදජනක ලෙස සංක්‍රමණිකයන්ගේ ඉහළම මරණ සංඛ්‍යාව ඉකුත් වසරේ වාර්තා වී තිබේ. එහෙත්, මෙම අභියෝගවලට අමතරව, ඔරොත්තු දීමේ හැකියාව, ප්‍රගතිය සහ බලාපොරොත්තුව පිළිබඳ නිදසුන්ද එමට ය. ආරක්ෂිත සහ හොඳින් කළමනාකරණය කළ සංක්‍රමණය අසාමාන්‍ය විභවයක් ඇති අවස්ථාවන්හි සංක්‍රමණිකයන් ශ්‍රම වෙළෙඳපොළවල තීරණාත්මක භූමිකාවන් ඉටු කරයි, කුසලතා හිඩැස් පිරවීම, නවෝත්පාදන සහ ව්‍යවසායකත්වය මෙහෙයවීම සහ වයස්ගත සමාජවල ජන විකාශන අභියෝග එමගින් ආමන්ත්‍රණය කරනු ලැබේ. සංක්‍රමණිකයින් ආර්ථික වර්ධනය ඉහළ නංවන අතර සංවර්ධනයට මග පාදමින් නිවෙස්වල සිටින පවුල් සහ ප්‍රජාවන්ට ජීවන මාර්ගයක් සපයයි.

සංක්‍රමණය ආරක්ෂිතව සහ උපාය මාර්ගිකව කළමනාකරණය කළ විට එය යහපත සඳහා ප්‍රබල බලවේගයක් විය හැකි බවට සාක්ෂි අතිමහත් ය. සංක්‍රමණය සඳහා නිත්‍ය මාර්ගවලට සහාය දීමෙන්, අපට සංක්‍රමණිකයන් සඳහා අවස්ථා සක්‍රීය කිරීමට, ඔවුන්ගේ අයිතීන් වඩා හොඳින් ආරක්ෂා කිරීමට සහ සංක්‍රමණිකයන් පැමිණෙන රටවල සහ ඔවුන්ට සත්කාර කරන රටවල වැඩි සමෘද්ධියකට දායක විය හැකිය. එක්ව, එක් පියවරකින්, අපට සංක්‍රමණය ආරක්ෂිත, ක්‍රමවත් සහ ප්‍රයෝජනවත් වන ලෝකයක් ගොඩනැ‍ඟීමට දායක වීම අඛණ්ඩව පවත්වාගෙන යා හැකිය.

Voice of Migrants Network (VOM) යනු සංක්‍රමණික සේවකයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල අයිතිවාසිකම් සහ යහපැවැත්ම ආරක්ෂා කිරීමට කැපවී සිටින ජාතික සහ බිම් මට්ටමේ වෘත්තීය සමිති, සිවිල් සමාජ සංවිධාන සහ සංක්‍රමණික සමාජවලින් සමන්විත ස්වේච්ඡා සන්ධානයකි. එහි විධායක අධ්‍යක්ෂ මයිකල් ජෝකීම් මහතා පවසන්නේ මෙවැන්නකි.

“ සංක්‍රමණික ශ්‍රමිකයින් කියන්නේ අපේ රටේ ජීවනාලිය නැතිනම් අපගේ ආර්ථිකයයි. ඒ සත්‍යයට කාටවත් අභියෝග කරන්න බෑ. එහෙත් අවාසනාවකට මෙන්, සංක්‍රමණිකයන් පහත් කොට සැලකෙන්නේ “අඩු වරප්‍රසාද ලත්, අනුකම්පාව සහ සුබසාධන කටයුතු අවශ්‍ය” මිනිසුන් ලෙස යි. මෙම චින්තනය ඔවුන්ට ගෑස් කුකර්, පොත් බෑග් ආදිය ලබා දීමට හේතු වෙනවා. අපේ ආර්ථිකයේ “කොඳු ඇටය” වන මිනිසුන් පුණ්‍යාධාර හෝ ආධාර සොයනවාද? මේ ආකාරයෙන් සංක්‍රමණිකයන් පහත් කොට බැලීමේ මෙම ආකල්පය සහ මානසිකත්වය කිසිසේත්ම පිළිගත නොහැකි, සදාචාර විරෝධී වන අතර එය වෙනස් විය යුතුයි. සංක්‍රමණිකයන් ආර්ථිකයේ කොඳු නාරටිය ලෙස පවතින ගෞරවනීය, පාර්ශ්වකරුවන් ලෙස පිළිගැනීමට කටයුතු කළ යුතුයි. සංක්‍රමණිකයන්, වරප්‍රසාද නොව ඉල්ලන්නේ තමාට හිමි අයිතිවාසිකම් බව අපි අමතක නොකළ යුතුයි. සංක්‍රමණික ශ්‍රමිකයන් ආරක්ෂා කිරීමට යාන්ත්‍රණයක් සකස් කරන ලෙස අපි ඉල්ලා සිටිනවා” හෙතෙම පවසයි.

විදෙස්ගත වන ශ්‍රමිකයින් විවිධ ගැටළුවලට මුහුණදෙන බව සැබෑ ය. නීතිරීති, භාෂා හා සංස්කෘතික වෙනස්කම්, රැකියා ගැටළු, මිනිස් ජාවාරම්කරුවන්ට හසුවීම් හෝ වෙනත් අනපේක්ෂිත ගැටළු නැතුවා නොවේ. එහෙත් ඒ සියල්ල මධ්‍ය යේ වුවද, පුද්ගලිකව තමන්ගේ හා තම පවුල්වල ජීවිත මෙන්ම පොදුවේ ආර්ථිකයට දක්වන දායකත්වය හරහා රටේත් දියුණුවට දායකවන පිරිස බොහෝ ය. ඒ නිසාම සංක්‍රමණික ශ්‍රමිකයින් පිළිබඳ සාකච්ඡාව ලෝකයේ බොහෝ රටවලට ‘විශේෂ’ වන විට අප වැනි රටක ‘සුවිශේෂී’ වෙයි. මන්ද යත් මෙරට ආර්ථිකයේ ඉහළම බරක් ඔසවා තබන්නේ ඔවුන් බැවිනි.

රට ආර්ථික අර්බුදයකට ගමන් කිරීමෙන් පසු ගොඩ ඒමට හැකි එකම මාර්ගය ලෙස ආර්ථික විද්‍යාඥයින් ඇතුළු සියලුම දෙනා එකඟ වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රදානයන් සමඟ ඉදිරියට ගමන් කිරීම ය. ඒ කටයුතු ඒ ආකාරයෙන්ම සිදුවෙද් දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපට ලැබුනේ වසර 4ක් සඳහාම අ.ඩො. බිලියන 2.9ක් වැනි මුදලකි. ආසන්න වශයෙන් එය ඩො.බිලියන 3ක් යයි කිව හැකි ය. දැඩි කොන්දේසි හමුවේ වසර 4ක් වැනි කාලයක් සඳහා වාරික කිහිපයකින් ලැබුණු එම මුදලට වඩා වැඩි මුදලක් විදෙස්ගත ශ්‍රමිකයින් විසින් 2024 අගොස්තු මාසය වන විට (මාස 8) මෙරට ආර්ථිකයට එකතු කර තිබුණි. ‘පවුල් ප්‍රේෂණ’(family remittance) ලෙස එවන ලද එම මුදලේ වටිනාකම ඩොලර් මිලියන 4, 288.2 ක් හෙවත් ඩොලර් බිලියන 4.28 කි. සැබවින්ම මෙරට ආර්ථිකය මේ මට්ටමින් හෝ ගැටගසාගෙන දුවන්නේ ඔවුන් ගේ දහඩිය මහන්සිය නිසා මිස කටමැත දොඩවන ඊනියා බුද්ධිමතුන්ගේ හාන්සිපුටුවාදය නිසා නොවන බැව් අවධාරණය කළ යුතුය. මහබැංකු වාර්තා පෙන්වා දෙන පරිදි මේ වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා මාස 11ක කාලපරිච්ඡේදය තුළ විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලද සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 5, 961.6 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙය 2023 වසරේ මුල් මාස 11හි ලද ප්‍රේෂණ ප්‍රමාණය වූ ඩොලර් මිලියන 5, 399.8 හා සැසඳීමේ දී 10.4% ක වර්ධනයකි. මෙම වසරේ ගෙවී ගිය කාලය තුළ (දෙසැම්බර් 12 දක්වා) රැකියා සඳහා විදෙස්ගතවීම ලක්ෂ 3 ඉක්මවා ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කර තිබුණි. නිවරදි ලෙස නිවරදි මාර්ගයේ ඔවුන් උපයන මුදල් රටට ලැබෙන්නේ නම් එළඹෙන වසර තුළ මෙරට ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට ඔවුන්ගේ දායකත්වය තව තවත් ඉහළයනු ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ.

මෙවැනි පසුබිමක විදෙස්ගත ශ්‍රමිකයින් ‘රට විරුවන්’ ලෙස නම් කිරීමේ කිසිදු වැරැද්දක් නැත. එ‍හෙත් ගැටලුව වන්නේ එවන් රට විරුවන්ට සලකන මුවාවෙන් හිටපු දේශපාලනඥයින් තමන්ගේ මඩිය තර කර ගැනීමට කටයුතු කිරීම ය. රට විරුවන්ට ගෙන්වනු ලැබුවේ යයි කියනු ලබන තීරු බදු රහිත වාහනවලින් අති බහුතරයක සැබෑ හිමිකරුවන් ඔවුන් නොවන බවත්, ඒ තුළින් රටට හිමිවිය යුතු බදු මුදල් මිලියන ගණනින් රටට අහිමිවී ඇති බවත්, මෑතක දී සිදුකළ විගණනයක දී අනාවරණය විය. අනෙක් අතට රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් රටට හිමිවූ දකුණු කොරියානු රැකියා කෝටාව වෙනුවට මිනිස් ජාවාරමකට රුකුල් දෙන අයුරින් කැබිනට් මණ්ඩලයේ හෝ නීතිපතිවරයාගේ අනුදැනුමකින් තොරව කෙටි කාලීන රැකියා (E-8) කාණ්ඩයේ රැකියා සඳහා යොමුකර තිබීමක්ද, දැකගත හැකිවිය. මෙම සිදුවීම සම්බන්ධයෙන් මේවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් සිදුකරමින් පවතී. අතීතයේ සිදුකළ වැරදි නිවරදි කරගනිමින් සංක්‍රමණික ශ්‍රමික කර්මාන්තය නඟා සිටුවන්නට වත්මන් රජය දක්වන උනන්දුව අගය කළ යුත්තේ යළි එවැනි වැරදි සිදුනොවීමට වගබලා ගැනීමෙනි.

මෙතුවක් කාලයක් පුරාවට විදෙස් දූත මණ්ඩල සේවයට පත්කර යැවුණේ සංක්‍රමණික ශ්‍රමික කර්මාන්තය ගැන තබා විදෙස්ගත වන පිරිස් කවුරුන්ද හා ඔවුන්ගේ ගැටළු මොනවාද යන්න හඳුනාගත් පිරිසක් නොව දේශපාලනඥයින්ගේ ඥාතීන් ය. ඔවුන්ගේ හිතවතුන් ය. මේ නිසාම විදෙස්ගත ශ්‍රමිකයකු යම් ගැටලුවකට මුහුණදුන් විට ඔවුන් සම්බන්ධයෙන් වහා ගත යුතු ක්‍රියාමාර්ගය කුමක්ද යන්න පවා නොදැන ගැටළුව තව තවත් සංකීර්ණ කෙරෙන තත්ත්වයක් උදාවෙනු දැකිය හැකි විය. වත්මන් රජය විසින් එවැනි නුසුදුසු පත් කිරීම්වලට අදාළව 15 දෙනකු යළි රටට කැඳවීමට කටයුතු කරනු ලැබුණි. එපමණකින් නොනැවතී සැබවින්ම කළ යුත්තේ ක්ෂේත්‍රය පිළිබඳ නිසි පුහුණුවක් හා විනයක් සහිත පිරිස් පමණක් දූත මණ්ඩල සේවය සඳහා යොමු කිරීමට සාධනීය පියවරක් තැබීම ය. එසේම සංක්‍රමණික ශ්‍රමිකයින් පිළිබඳ තීන්දු තීරණ ගන්නා වගකිව යුතු මණ්ඩල තුළ ඔවුන්ට නියෝජනයක් තිබිය යුතු ය. එවිට ඔවුන්ගේ ගැටළු වඩා නිරවුල් ලෙස බලධාරීන් හමුවේ තැබීමටත්, ක්ෂණිකව ක්‍රියාත්මක වීමටත් හැකියාව ලැබේ.

සංක්‍රමණික ශ්‍රමිකයින්, ‘ශ්‍රමිකයින්’ ලෙස පිළිගැනීමත්, ඔවුන් රටේ සංවර්ධනයේ නිසි පාර්ශ්වකරුවන් ලෙස තහවුරු කිරීමත් කළ යුතු ය. මැතිවරණ සමයන්හි ගෑස් කුකර්, ටකරං තහඩු, මහන මැෂින් ආදිය බෙදා දී තම මැතිවරණ න්‍යායපත්‍රය ක්‍රියාවට නංවා ගැනීමට ඔවුන් දඩමීමා කර ගැනීම වෙනුවට සැබවින්ම ඔවුන්ගේ දායකත්වයට නිසි වටිනාකමක් ලබා දිය යුතු ය. මැදපෙරදිග ඇතුළු විදේශ රටවල දී යම් පීඩාවකට, ගැටළුවකට මුහුණදුන් කෙනකු වෙත් නම් ඔවුන් වෙත වහා මැදිහත්වී සහන සලසන්නට ක්‍රියා කළ යුතු ය. එහෙත් කළ යුත්තේ දේ යළි යළිත් එවැනි ගැටලු ඇති නොවනා තැනට දේශීයව පද්ධතිමය වෙනසක් ඇති කිරීම හා විදේශීයව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් එකඟතාවන් හා ප්‍රමිතීන් නඩත්තු කිරීම ය. එසේ නොකරන තාක් එක් ගැටලුවකින් තවත් ගැටලුවකට සහන සලසමින් අඛණ්ඩව ක්‍රියා කළ යුතු ‘සහන සේවයක්’ ලෙස පමණක් මෙම කර්මාන්තය ඌනනය වීම ය.

සංක්‍රමණික ශ්‍රමිකයින්ට තමන්ගේ ගමනාන්ත රටවල සිට මව්බිමේ තීරණාත්මක මැතිවරණවල දී ඡන්දය ප්‍රකශ කිරීමට අවස්ථාව සලසා දිය යුතු ය. ලෝකයේ ශිෂ්ට රටවල ඒ සඳහා විවිධ ක්‍රමවේද දකින්නට ලැබේ.රටේ ආර්ථිකයේ ඉහළම පංගු කාරිත්වයක් ඔසවන පාර්ශ්වයකට ඒ රටේ පාලන බලයට, තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලියට දායකවීමට අවස්ථාව සැලසීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඇතුළත්කර ගැනීමේ (inclusive) ක්‍රමෝපායකි. මේ පිළිබඳ වත්මන් ජනාධිපතිවරයා දිවුරුම් දුන් අවස්ථාවේ දී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින්ද සිහිපත් කරන ලදී. ඒ මොහොතේ ජනාධිපතිවරයා කියා සිටියේ එළඹෙන මහමැතිවරණයට පෙරාතුව මැතිවරණ නීතිය සංශෝධනය කරමින් මෙම අයිතිවාසිකම තහවුරු කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට හැකියාවක් නැතත්, එය අනිවාර්යයෙන්ම කෙරෙන බවයි. මේවන විට වත්මන් රජයට තුනෙන් දෙකක බහුතර බලයක් පවත්නා බැවින් ඉදිරියේ දී මැතිවරණ නීතිය මෙන්ම සංක්‍රමණික කර්මාන්තය හා බැඳී ඇති සෙසු නීති හා අණ පනත්ද, කාලයට ගැළපෙන සේ සංශෝධනය කොට සුදුසු ක්‍රියාමාර්ග ගත යුතු ය.

ජාතික ජන බලවේගයේ ‘පුනරුදයෙන් එතෙර අපිට’ ප්‍රතිපත්ති මාලාවේ දැක්වෙන පරිදි විදෙස්ගත ශ්‍රමිකයින්ට ඡන්ද ප්‍රවේශයට ක්‍රියාමාර්ග ගැනීම, ඔවුන්ගේ පවුල්වල සුබසාධනය හා රක්ෂණ ක්‍රමවේදයක් ක්‍රියාවට නැංවීම, අඩු පොළියට නිවාස ණය ප්‍රදානය කිරීම, නිපුණතා සංවර්ධනය සඳහා පුහුණු වැඩසටහන් ආදී බොහෝ සැලසුම් ක්‍රියාත්මක කිරීමට නියමිත ය. ඒ නිසාම ඉතිහාසයේ අන් කවරදාකටත් වැඩියෙන් මෙවර ‘ජාත්‍යන්තර සංක්‍රමණික දිනය’ යනු අතීතයට පසුබැසීම වෙනුවට අනාගතය වෙනුවෙන් සුබවාදී බලාපොරොත්තු ඇතිකරගත හැකි මොහොතක් බැව් අවිවාදයෙන් යුතුව අවධාරණය කළ හැකි ය.

 

ප්‍රියාන් ආර් විජේබණ්ඩාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT