ඓතිහාසික ආදර අන්දරයක පෙමිවතිය වූද, ගාබිරියෙල් ගාර්ෂියා මාකේස් නැමතිවිශිෂ්ටයාගේ ආදරණිය බිරිඳ වූද මර්සිඩීස් බාර්චා 2020 අගෝස්තු මස 15 වැනි දින මෙක්සිකෝ රෝහලකදී මිය ගියාය. මර්සිඩීස් බාර්චා යනු මියගිය ගාබිරියෙල් මාකේස්ගේ යාවජීව සහකාරිය, ඔහුගේ කෞතුක වස්තුව සහ “දකුණු අත” බව පවසන්නේ මාකේස් ගේ සහෝදරයා වන වන ජයිම් ගාර්ෂියා මාකේස් ය. ජීවිතය ඉතා තෘප්තිමත්ව ගත කළ ඇය මිය යන විට 87 වැනි වියේ පසු විය.
1932 නොවැම්බරයේ උතුරු කොලොම්බියාවේ ඉපදුණු ඇය, ඊජිප්තු සම්භවයක් ඇති පවුලකට අයත් වූ අතර සහෝදර සහෝදරියන් හය දෙනෙකුගෙන් වැඩිමලා විය. ඇයට මාකේස්ව මුණගැසුණේ ඇයට වයස අවුරුදු පහේදීය. මාකේස් ඒවන විට අවුරුදු 10ට ආසන්න ය. ඔවුහු කොලොම්බියාවේ කැරිබියානු සුක්‍රේහි ඔවුන්ගේ පවුලේ නිවාඩු ගත කරමින් සිටියහ. මාකේස් මුලින්ම බාර්චාට විවාහ යෝජනා කළේ ඇයට අවුරුදු 13ක් සහ ඔහුටඅවුරැදු 18 දී ය. එහෙත් ඇය ඔහුට කැමැත්ත දෙනු ලැබුවේ තවත් වසර 10 කට පසු කොලම්බියානු ආඥාදායක රොජාස් පිනිලාගේ ජාවාරම් පිළිබඳ කරනු ලැබූ ප්‍රකාශයක් පුවත්පතකට පළවීම නිසා යුරෝපයේ පිටුවහල් ජීවිතයක් ගත කළ මාකේස් නැවත කොලොමිබියාවට ආ පසුව ය. ඒ 1958 වර්ෂයයි. අනතුරුව දෙදෙනාම සිය ඉතිරි ජීවිත කාලය ගෙවීම සඳහා මෙක්සිකෝව තෝරා ගත්හ. ඒ 1961 දී ය. යුවළ ඉක්මනින්ම මෙක්සිකෝවට ගොස් 2014 දී මාකේස් මිය යනතෙක් වසර 56ක් එකිනෙකාගේ සෙවනැල්ල මෙන් ආදරණීය බැඳීමක ස්වකැමැත්තෙන් වෙළී පැටලී සිටියහ.
1982 දී ‘ප්ලේබෝයි සඟරාව’ සමග සම්මුඛ සාකච්ඡාවකදී මාකේස් මෙසේ කීවේ ඒ නිසා විය හැකිය.
‘‘ මම ‘සියක් වසරක හුදකලාව’ අවසන් කළ පසු බිරිඳ සමග එය තැපැල් කාර්යාලයටගෙන ගියේ කෘතිය බුවනෝස් අයර්ස් හි ප්‍රකාශන ආයතනයට යැවීමේ අදහසින්. එය පිටු 700 ක් වූ අතර, තැපැල් කාර්යාලය නව කතාව කිරා මැන බැලූ පසු මෙක්සිකෝවේ සිට ආර්ජන්ටිනාව දක්වා යැවීමට පෙසෝ 83 ක් වැය වන බව කීවා. මගේ බිරිඳ මර්සිඩීස් මට කීවේ අපට ඇත්තේ පේසෝ 45 ක් පමණක් බවයි. මම පොත අඩකින් බෙදා ඇයට මෙසේ කීවා. මෙම පොත පෙසෝ 45 ක් දක්වා පමණක් කිරා යවමු .’පෙසෝ 45 ක් දක්වා ඔවුන් මස් වෙළෙන්දන් වගේ පොතේ කොළ වෙන්කළා. .එය පෙසෝ 45 ට ළඟා වූ විට, අපි එම කොළ රැගෙන ඒවා ඔතා බුවනෝස් අයර්ස්වෙත යැව්වා. ඉතිරිය අපි ළඟම තියා ගත්තා. පසුව අපි ගෙදර ආවා.”
මර්සිඩීස් නවකතාවේ ඉතිරි අර්ධය යැවීම සඳහා උකස්කර මුදල් සෙවීමට ගෙදර ඉතිරිව ඇති අන්තිම දේත් ඇය එළියට ගත්තා ය. එකක් නිවස උණුසුම් කිරීමට භාවිතා කරන හීටරයයි. අනෙක් දෙක ඇගේ කෙස් වියළන යන්ත්‍රය සහ පලතුරු මිශ්‍රණ යන්ත්‍රයකි. ඒවා සමඟ මොන්ටේ ඩි පීඩාඩ් වෙත ගිය ඇය ඒවා විකුණා වහා ඔහුට පෙසෝ 50 ක් ගෙනවිත් දුන්නා ය. පසුව දෙදෙනාම නවකතාවේ ඉතිරි කොටස තැපැල් කාර්යාලයට ගෙන ගොස් එය කිරා මැන තැපැල් ගාස්තුව ලෙස පෙසෝ 48ක් වැය කළ පසු කොළ පැහැති මුහුණින් සිටි ඇය ඔහුට මෙසේ කීවාය.
‘‘ගැබෝ ! දන්නවද තවත් ඉතිරි වෙලා තියෙනවනම් තියෙන්නෙ අපි දෙන්නගෙ ආදරේ විතරයි. ඒකත් නරක අතට හැරෙන්න විතරයි”
කෙසේ වුවද, මර්සිඩීස්ගේ සියලු කන කර උකස්කර අවසානයේ ගෙදර හීටරයද, විකුණා දමා 1967 දී පළකළ මාකේස්ගේ ‘සියක් වසක හුදෙකලාව’ භාෂා 25 කට පරිවර්තනය වී පිටපත් මිලියන 50 කටත් වඩා විකිණී තිබිණි. එය එතෙක් 17 වන සියවසේ “දොන්ක්වික්සෝට්”නවකතාව ලියූ හා කීර්තියේ මුදුන් පෙත්තේ වැජඹෙමින් උන් මිගෙල්ඩි සර්වන්ටෙස්ගෙන් පසු ස්පාඤ්ඤ භාෂාවෙන් ලියනු ලබන ලේඛකයන් අතර අංක එකේ විශිෂ්ටයා බවට ඔසවා තබනු ලැබී ය. එහි පුර්ණ ගෞරවය මර්සිඩීස් බාර්චා මාකේස්ට හිමි විය යුතු බවට කිසිදු සැකයක් නැත.
මාකේස්ට ළඟාවිය හැකි යතුර තිබුණේ මර්සිඩිස් අත ය. මාකේස් හමුවිය යුත්තේ කාවද, ඉවත දැමිය යුත්තේ කාවදැයි තීරණය කරනු ලැබුවේ මේ බලගතු ගැහැනියයි. එමෙන්ම මාකේස්ගේ ප්‍රහාරාත්ම හා නිර්ධය විවේචකයා වූයේද, ඇයම ය. ‘‘ සියක් වසරක හුදකලාව” ප්‍රථමයෙන් කියවනු ලැබුවේ ඇය යි. එය කියවා අහවරවු පසු ඇගේ නෙත් කාන්තියෙන් දිදුලන්ට පටන් ගත් බව ගාබිරියෙල් කියා ඇත. ගාර්ෂියාට ඇය කළ බලපෑම කෙසේද යත් හේ ටයිම්ස් සඟරාවට මෙසේ පවසා තිබිණි.
‘‘පිදෙල් කැස්ත්‍රෝ මාව විශ්වාස කරන්නෙ නෑ. එයා විශ්වාස කරන්නෙ මර්සිඩීස් බාර්චා පර්ඩෝව”
උපාලි ජයසිංහ