අද (දෙසැම්බර් 18) යනු ජාත්‍යන්තර සංක්‍රමණික ශ්‍රමිකයින්ගේ දිනය යි. එය ලෝකයට විශේෂ වන්නේ ජාතික රාජ්‍යයක සීමාවන්ට යටත්ව පැවති මිනිස් ශ්‍රමය ගෝලීයකරණය වීමෙන් පසු එකී මිනිස් ජීවිතවලට සංස්කෘතික වටිනාකමක් එකතු කරන නිසා ය. හුදෙක් යන්ත්‍ර වලට වැඩි යමක් මිනිසුන් ලෙස ඔවුන්ට හිමි විය යුතු යයි ශිෂ්ට ලෝකයක් කල්පනා කරන නිසා ය.
එය අපේ රටට ‘සුවිශේෂී’ වන්නේ අල්පෙනෙත්තක් වත් නිෂ්පාදනය කොට රට පටවා විදේශ විනිමය ඉපැයීම වෙනුවට රටේ ආර්ථිකයෙන් සුවිශාල බරක් ඔසවන්නේ විදෙස්ගත වන ලාංකිකයන් වන බැවිනි. ඔවුන් මේ රටට ඩොලර් උපයා එවන ‘පවුල් ප්‍රේෂණ’ නොමැති නම් මේ රට තවත් අගාධයෙන් අගාධයට ගමන් කරනු නිසැක ය.
මේ වසරේ ඉකුත් දෙසැම්බර් 12 වන දින වනවිට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිචි වී විදේශ රැකියා සඳහා පිටත්ව ගිය පිරිස ලක්ෂ 3 ක් ඉක්මවා තිබේ. ඇතැම් විට නීති විරෝධී ලෙස අවදානමක්ද දරා පනින අය, සංචාරක වීසාවෙන් ගොස් නතර වන අයද, සලකන්නේ නම් මෙම නිල දත්ත සංඛ්‍යා තවත් ඉහළ යනු ඇත.
කුමන තරාතිරමේ රැකියාවකට කුමන අන්දමින් ගියද, ඔවුන් අපේ රටේ පුරවැසියන් ය. ලෝක වැසියන් ය. මිනිසුන් ලෙස ඔවුන්ට උරුම අයිතිවාසිකම් තිබේ. ඔවුන් උපයන මුදල් තමන්ගේ මව් රටේ දහස් සංඛ්‍යාත පිරිසකගේ කුසගිනි නිවාලන්නට, ලෙඩකදී – දුකකදී, ප්‍රතිකාරයක් ගන්නට අනියමින් හෝ දායක වී ඇත. ඒ නිසාම ඔවුන්ගේ ශ්රමයට ගරු කිරීම අප සැමගේ යුතුකමකි. වගකීමකි.
ඇතැම් පාලන කාලයන්හි විදෙස්ගත ශ්‍රමිකයින්ව ‘රට විරුවන්’ ලෙස නාමකරණය කරමින් මුරුංගා අත්තේ තබා සූක්ෂම ලෙස තමන්ගේ දේශපාලන ව්‍යාපෘතිවලට යොදා ගන්නා ලදී. ‘රට විරුවන්ට’ මුවාවී තීරුබදු රහිත වාහන ගෙන්වීම්, මිනිස් ජාවාරම්, මහා පරිමාණ අක්‍රමිකතා සිදුකරන ලදී. විදෙස්ගත වූවන්ගේ පවුල්වලට මැතිවරණ කාලයට පමණක් ගෑස් කුකරයක්, මහන මැෂිමක්, ටකරං තහඩුවක් ලබාදී දුක සැප විමසන ව්‍යාපෘති ක්‍රියාවට නැංවී ය.
සැබවින්ම ඔවුන්ගේ අවශ්‍යතාව තීරු බදු රහිත වාහන හෝ සහනාධාර නොවේ. ගෞරවනීය මිනිසුන් ලෙස ජීවත්වීමට පවත්නා අයිතිය යි. මුහුණදෙන ගැටළුවට කඩිනම් විසඳුමක් මෙන්ම යළි එවැනි ගැටළු ඇති නොවන අන්දමේ පද්ධතිමය වෙනසක් අවැසිම ය. එළඹෙන්නේ බලාපොරොත්තුවේ වසරකි.