Sunday, April 20, 2025
Home » ‘ජාතිය’ අලවා මනුෂ්‍යත්වය ගැලවීම

‘ජාතිය’ අලවා මනුෂ්‍යත්වය ගැලවීම

by mahesh
December 18, 2024 1:00 am 0 comment

රාජකාරි කටයුත්තක් සඳහා පරික්‍ෂා කරන ලද, රාජ්‍ය අංශයේ රාජකාරියේ නිරතව සිට විශ්‍රාම ලද තැනැත්තියකගේ විවාහ සහතිකයේ ‘තරාතිරම නොහොත් රක්ෂාව සහ ජාතිය’ සඳහන් තීරයේ තිබූ ජාතියත් ‘දෙපාර්ශ්වයේ ව්‍යවහාර සම්පූර්ණ නම’ යන තීරයේ සඳහන්ව තිබූ සම්පූර්ණ නමත් අතර නොගැළපීමක් විය. එහි සඳහන්ව තිබූ පෙළපත් නාමයත් ඇයගේ නමත් වාසගමත් සිංහල ඒවා ය. නමුත් ඇයගේ ‘ජාතිය’ ‘ශ්‍රී ලාංකික දෙමළ’ ය. එය තහවුරු කර ගැනීම රාජකාරිය ඉදිරියට කරගෙන යාම සඳහා පාදක නොවෙතත්, ඇයගේ උප්පැන්න සහතිකය පරික්ෂා කළේ එහි පවත්නා විකාරරූපි බව පසක් කරගැනීමේ කුතුහලය නිසා ය. එහි දී ‘නම’ යන තීරයට ඇයගේ මවගේ පෙළපත් නාමයත්, ඇයගේ නාමයත්, ඇයගේ මවගේ වාසගමත් සඳහන් කොට තිබුණි. එහි දී ‘පියාගේ නම සහ පෙළපතේ නම’ යන තැන සඳහන් නම දමිළ නමක් වූ අතර ‘පියාගේ තරාතිරම නොහොත් රක්ෂාව සහ ජාතිය’ යන තීරයේ සඳහන් ජාතිය ‘ලංකා දෙමළ’ ලෙස සඳහන් කොට තිබුණි.

ඇයගේ ලියකියවිලි පරික්ෂා කිරීමේ දී ගම්‍ය වන්නේ ඇයට දෙමළ නමක් වාසගමක් පෙළපතක් දීමට ඇයගේ වැඩිහිටියන් වෙත වූ නො කැමත්ත ය. ඒ සඳහා බලපාන්නට ඇතැයි සිතිය හැකි හේතු ගණනාවක් ඇත. සිංහල මහා සමාජය තුළ ‘දෙමළ’ හෝ ‘මරක්කල’ යැයි නාමකරණය වීම දෙමළ හෝ මුස්ලිම් නමකින් ඇමතීම බොහෝ කලබැගෑනියන් කැඳවන්නක් බව අපි දනිමු. ඒ සාමන්‍ය දැනීම ඔවුන්ට ද තිබෙන්නට ඇත.

ජනවර්ග දෙකක දෙදෙනෙකුගෙ සංකලනයෙන් උපන් දරුවකු අයත් වන්නේ කුමන ජාතියට ද යන්න ජෛව විද්‍යාත්මකව තහවුරු කළ නොහැකි ය. එනම් ජාතියේ අයිතිය දිය යුත්තේ ශුක්‍රාණුවටද, ඩිම්බයටද යන්න ජෛව විද්‍යාත්මකව තෝරා ගත්තක් නොවේ. ජාතින් දෙකක සංකලනයෙන් බිහිවන ජාතියකට නිශ්චිත නමක් දිය නො හැකි ය. ලංකාවේ පවත්නා නීතිය අනුව දරුවකුගේ ජාතිය තීරණය වන්නේ දරුවාගේ පියාගේ ජාතිය අනුව ය. හෙතෙම පිරිමි දරුවකු වී මතු දිනෙක ඉස්ලාම් ස්ත්‍රියක හා විවාහ වී ඇය විසින් දරුවකු බිහි කළොත්, ඒ දරුවාගේ ජාතිය ද ‘ලංකා දෙමළ’ ය. එම අර්ධයෙනුත් අර්ධ ‘දෙමළ දරුවා’ මතු දිනෙක සිංහල ස්ත්‍රියක හා විවාහ වී ඇය දරුවෙකු බිහි කළහොත් ඒ දරුවාගෙ ජාතිය ද ‘ලංකා දෙමළ’ ය. කවදා හෝ දිනෙක ඒ උපදින්නා දැරියක වුවහොත් ඇය ‘ලංකා දෙමළ’ වී එතැනින් පරම්පරාව නවතිනු ඇත.

යම් හෙයකින් නීත්‍යනුකූල විවාහයකට ඇතුළත් නොවූ ස්ත්‍රියක දරුවකු බිහි කළේ නම්, උප්පැන්න සහතිකයට පියාගේ නම ඇතුළත් නො කළේ නම්, ඒ දරුවාට ලැබෙන්නේ මවගේ නම සහ වාසගමයි. පියා නොමැති තැන දරුවාගේ ජාතිය ද මවගේ ‘ජාතිය’ ම වනු ඇත. ‘සුජාතභාවය’ පිළිබඳ සඳහන් කිරීමක් නොමැති නිසා බරපතළ ගැටළුවක් එහි නැත. ඒ අනුව අන්‍ය ජාතික පියෙකු වෙනුවට පියාගේ නම ඉරි කෑල්ලක් වීම සුදුසු බව මෙවන් ගැටළුවලට මුහුණ පෑ වුන්ට සිතෙනවා ද ඇත.

අමාත්‍ය මණ්ඩලයේ අධිකාරය යටතේ රාජ්‍ය පරිපාලන විෂය භාර අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කරන ලද අයතන සංග්‍රහය 1985-09-01 දින සිට ක්‍රියාත්මක ය. එහි XXVIII පරිච්ඡෙදයේ 1-9 වගන්තියේ ‘සිරිත් වශයෙන් භාවිත වන ආකෘතිවලින් යම් තැනැත්තෙකුගේ ජාතිය පිළිබඳ තොරතුරු ලබා ගැනීමට රජයේ නිලධරයෙකුට අවසර නැත’ යනුවෙන් සඳහන් ය.

එය එසේ වූවත් උපත, විවාහය, මරණය ලියාපදිංචිය ආදි කටයුතු සඳහා සම්පූර්ණ කරන ලද ආකෘතින්ගෙන් ‘ජාතිය’ කවරක් ද යන ප්‍රශ්නය නඟයි. ඊට අමතරව වෙනත් අවශ්‍යතා සඳහා කාලීනව නිකුත් කරන ආකෘති මගින් ද ‘ජාතිය’ කවරක් ද යන ප්‍රශ්නය මතුකරයි. එබැවින් රජයෙන් පනවා ඇති රෙගුලාසිය රාජ්‍ය ආයතනයන් තුළ රජයෙන් ම කඩ කරන්නේ මන්ද යන්න ඊටත් වඩා ගැටළුවකි.

පියාගේ ජාතිය අනුව දරුවකුගේ ජාතිය තීරණය කිරීම සාහසික ය. යන යන තැන සම්පූර්ණ කරන්නට දෙන ආකෘතිවලින් ජාතිය සහ ආගම ඇසීම ඊට වඩා සාහසික ය.

මීට වසර කිහිපයකට පෙර දරුවා ලැබෙන්නට මා ඇතුළත් වුණු පොද්ගලික රෝහලට ඇතුළත් කරගන්නට පෙර දුන් අයදුම්පතෙහි ‘ජාතිය’ හා ‘ආගම’ කවරක් ද යන්න අසා තිබුණි. රෝහල්ගතවීමත්, ජාතියත්, ආගමත් අතර සම්බන්ධයක් නැත. එහෙත් එම ප්‍රශ්නය ප්‍රධාන ප්‍රශ්නයක් ලෙස අදටත් අසන්නේ මන්ද යන්න ගැටළුවකි.

ජාතිය සහ ආගම යනු ඉතා සංවේදි කාරණා ය. වැඩියෙන් ම මිනී මරාගන්නා කාරණා ය. ලංකාවේ වුව හදවත් බිඳවන, කීතුකරන, වෛරයේ ගිනි දැල් මතු කරන කාරණා ය. තව දුරටත් පියාගේ ජාතිය දරුවාගේ ජාතිය ලෙස සටහන් කොට ජාතිය ලෙස බෙදා දමනු වෙනුවට ‘ශ්‍රී ලාංකික’ ලෙස සටහන් කිරීමත් ආයතන සංග්‍රහයේ රෙගුලාසි ක්‍රියාත්මක කිරීමත් දැන්වත් සිදුවිය යුතු සාධනීය ප්‍රතිසංස්කරණයන් ය.

හර්ෂිණී පුෂ්පමාලා ආරච්චිගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT