කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් අනුස්මරණ ක්‍රීඩා පදනම විසින් 23 වැනි වරටත් සංවිධාන කළ කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් අනුස්මරණ කුසලාන පාසල් සය සාමාජික ක්‍රිකට් තරගාවලියේදී කොළඹ ආනන්ද විදුහල සහ සත්කාරක කුරුණෑගල මලියදේව විදුහල සම ශූරතා හිමිකර ගත්තේය.
කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ පැවති තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී ධර්මපාල විදුහල පරදවමින් ආනන්ද විදුහල අවසන් තරගයට සුදුසුකම් ලැබූ අතර, නාලන්දා සහ මලියදේව අතර වූ දෙවැනි අවසන් පූර්ව තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමිණි. එම තරගයේ කාසියේ වාසිය උරගා බැලීමෙන් ජයග්‍රාහකයන් තේරීම සිදුවූ අතර, එහිදී කුරුණෑගල මලියදේව විදුහල අවසන් තරගයට සුදුසුකම් ලැබීය. කෙසේ වෙතත් අවසන් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, ඒ අනුව කොළඹ ආනන්ද සහ කුරුණෑගල මලියදේව විදුහල්වලට සම ශූරතාව පිරිනැමිණි.
මේ තරගාවලියේ වීරයා ලෙස මනුප මන්මිත (නාලන්දා) සම්මාන දිනාගත් අතර, තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙස නිසලිත සන්දිව් (ධර්මපාල), දක්ෂතම පන්දු යවන්නා ලෙස අශිංෂ නයිනායක (ආනන්ද) සහ තරගාවලියේ දක්ෂතම පන්දු රකින්නා ලෙස රාජිත නවෝද්‍ය (මලියදේව) සම්මාන දිනා ගත්හ.
මේ තරගාවලියට කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමන්ගේ පුරෝගාමීත්වය යටතේ මෙරට ස්ථාපිත කළ කොළඹ ආනන්ද, මහනුවර ධර්මරාජ, ගාල්ල මහින්ද, කොළඹ නාලන්දා, අම්බලන්ගොඩ ධර්මාශෝක, මාතර රාහුල, පන්නිපිටිය ධර්මපාල සහ කුරුණෑගල මලියදේව යන බෞද්ධ පාසල් කණ්ඩායම් අටක් එක් විය.
කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුනිල් තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් තරගාවලියේ ජය සංකේත ප්‍රදානය සිදු කෙරිණි.
ඉෂානි යද්දෙහි