Home » ශ්‍රී ලංකා යොවුන් පිල බංග්ලාදේශයට පරදී

ශ්‍රී ලංකා යොවුන් පිල බංග්ලාදේශයට පරදී

by sachintha
December 17, 2024 1:56 am 0 comment

ආසියානු කුසලාන අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් බංග්ලාදේශ යොවුන් පිල හමුවේ ලකුණු 28කින් පරාජය වීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ට සිදු විය.

ඊයේ ක්වාලාලම්පූර් නුවරදී ‘බී’ කාණ්ඩය යටතේ ඕවර 17කට සීමා කරමින් පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ පිල කඩුලු 9ක් දැවී ලකුණු 122ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා පිලට ඕවර 17 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 94ක් පමණි.

මේ සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමේ මූලික වටයේ තරග නිමා වූ අතර, මේ තරගාවලිය තුළ කණ්ඩායමේ ඉදිරි ගමන අද බංග්ලාදේශය සහ මැලේසියාව අතර තරගයෙන් තීරණය වනු ඇත.

ආරම්භක පිතිකාරිනි සංජනා කාවින්දි පන්දු 13කදී හතරේ පහර 5ක් සමඟ ලකුණු 21ක් රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූ අතර, රශ්මිකා සෙව්වන්දි ලකුණු 20ක් රැස් කළාය. පන්දු යැවීමේදී සුමයියා අක්තර් කඩුලු 3ක් බිඳ දැමූ අතර, ෆර්ජානා ඉස්මින් සහ නිශිතා අක්ටර් කඩුලු 2 බැගින් දවා ගත්හ.

සාඩියා අක්ටර් ලකුණු 31ක්,

අෆියා අෂිමා ලකුණු 25ක් සහ

සුමයියා අක්තර් ලකුණු 24ක් පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ ඉනිමට එක් කළහ.

දක්ෂ පන්දු යැවීමක නිරතවූ රශ්මිකා සෙව්වන්දි ලකුණු 23කට කඩුලු 4ක් බිඳ දැමූ අතර, ප්‍රමුදි මෙත්සරා සහ අසේනි තලගුණේ කඩුලු 2 බැගින් දවා ගත්හ.

මේ අතර නේපාලය හමුවේ කඩුලු 6කින් පරාජයවීමෙන් ‘ඒ’ කාණ්ඩයෙන් තරග කළ පාකිස්තානයට තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය. ඔවුන් පළමු තරගයේදී ඉන්දියාව හමුවේ කඩුලු 9කින් පරාජය වී තිබිණි.

නිරෝෂාන් ප්‍රියංකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT