මාලය උකස් කර දුප්පත් මිතුරන්ට බඩුත් බෙදලා
ව්‍යාපාරිකයාගේ හොඳම ගෝලයෝ 2ක් දැලේ
ව්‍යාපාරිකයකුට අයත් රුපියල් ලක්ෂ 30කට ආසන්න වටිනා රන්මාලය සොරාගෙන එය උකස් කර යතුරුපැදියක් හා ත්‍රිරෝද රථයක් මිලදීගෙන දුප්පත් මිතුරන්ට අත දිගහැර මුදල් වියදම් කරමින්, සොරකම හසු නොවේවායි ප්‍රාර්ථනා කිරීමට කතරගම දෙවියන්ට භාර වූ ව්‍යාපාරිකයකුගේ විශ්වාසවන්තම සේවකයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලීසිය පැවසීය.
සැකකරුවන් සොරාගත් රන්මාලය උකස් කළ මුදලින් මිලදීගෙන තිබූ ත්‍රිරෝද රථය සහ යතුරුපැදිය ද පොලිස් භාරයට ගෙන ඇත. පිළියන්දල, මඩපාත ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විදේශගතව සිටියදී රැගෙන ආ පවුම් 16ක් බර රන් මාලයක් වැඩි පරිස්සමට මෙට්ටය යට සඟවා තිබියදී මීට සති 3කට පමණ ඉහතදී අස්ථානගත වී ඇති බවට පවසමින් අත්අඩංගුවට ගත් සැකකාර සේවකයකු සමඟ පැමිණ මීට දින කිහිපයකට ඉහතදී පොලීසියට පැමිණිල්ලක් කර තිබේ. එදින සිට නිවෙසේ සෑම තැනකම මාලය සොයා බැලුවද හමු නොවූ බවත්, එය නොමැති බව දැනගත් දිනයේ පැමිණිලි නොකළේ බිරිය නිවෙසේ කිසියම් හෝ තැනක මෙය තබන්නට ඇතැයි යන විශ්වාසය හේතුවෙන් බවත් ඔහු කරන ලද පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වූ බව පොලීසිය කියයි. තමා යටතේ සේවකයන් කිහිප දෙනකුම සේවය කරන බවත්, එයින් විශ්වාසවන්තම තිදෙනකුට නිවෙස තුළම නවාතැන් පහසුකම් සපයා ඇති බවත්, මෙම රන්මාලය නැතිවීමට ඔවුන් සම්බන්ධයෙන් තමන්ට කිසිදු සැකයක් නැති බවත් එම ව්‍යාපාරිකයා පොලීසිය හමුවේ ප්‍රකාශ කර තිබේ.
ව්‍යාපාරිකයා කළ පැමිණිල්ල අනුව වහා ක්‍රියාත්මක වූ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව අලුත්ගෙදර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ව්‍යාපාරිකයාගේ නිවෙසට ගොස් මූලික විමර්ශන සිදුකිරීමට කටයුතු කර ඇත. ඒ අතරතුර හිටිහැටියේම සේවකයන් දෙදෙනකු සේවයෙන් ඉවත්ව ඌරගස්මංහන්දිය සහ ඇඹිලිපිටිය ගම්ප්‍රදේශය බලා ගිය බව දැන ගැනීමට ලැබීමෙන් අනතුරුව එම ප්‍රදේශ බලා විශේෂ පොලිස් කණ්ඩායමක් යවා රහසිගතව සිදුකළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස එම සේවකයන් දෙදෙනාගෙන් ඇඹිලිපිටියේ පදිංචි 17 හැවිරිදි සේවකයා යතුරුපැදියකුත්, ඌරගස්මංහන්දිය පදිංචි සේවකයා ත්‍රිරෝද රථයකුත් මිලදීගෙන ඇති බවට අනාවරණය කර ගැනීමට පොලිස් නිලධාරීන් සමත්ව තිබිණ. ඒ අනුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී ව්‍යාපාරිකයාගේ රන්මාලය සොරා ගත් බවට අනාවරණය කළ බව පොලීසිය පැවසීය.
ව්‍යාපාරිකයා මත්පැන් පානය කර නින්දේ සිටි අවස්ථාවේදී කාමරයට ගිය සේවකයකු සඟවා තිබූ රන්මාලය සොරාගෙන නිවෙසින් පිටත තිබූ කැඩී ගිය රෙදි රෙදිසෝදන යන්ත්‍රයක් තුළ එය සඟවා තබා ගම්ප්‍රදේශය බලා එන අතරවාරයේදී රැගෙනවිත් අම්බලන්ගොඩ නගරයේ රන් භාණ්ඩ උකස් මධ්‍යස්ථානයකට උකස් කර රුපියල් ලක්ෂ 25ක් ලබාගෙන දෙදෙනා අතර ලක්ෂ 10 බැගින් බෙදාගෙන එයින් ත්‍රිරෝද රථය සහ යතුරුපැදිය මිලදී ගත් බවත්, ඉතිරි ලක්ෂ 5ක මුදලින් දුප්පත් මිතුරන් වෙත ආහාර මලු මෙන්ම මුදල් ප්‍රදානය කළ බවත්, සෙසු මුදල් විවිධ ආහාර පාන සඳහා වැය කළ බවත් ප්‍රශ්න කිරීමේදී අනාවරණය කළ බව පොලීසිය කීය. සැකකරුවන්ගේ ප්‍රකාශ මත ඔවුන් උකස් කළ බව කියන රන්මාලය ලබාගැනීම සඳහා අධිකරණ නියෝග ලබා ගන්නා බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.
සැකකරුවන් දෙදෙනා කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
බණ්ඩාරගම – බිමල් ජයසිංහ