Home » 04 වන පරම්පරාවේ පොහොර කම්හලක් සදහා ආයෝජකයින් ලංකාවට එයි

04 වන පරම්පරාවේ පොහොර කම්හලක් සදහා ආයෝජකයින් ලංකාවට එයි

by yasara
December 17, 2024 11:07 am 0 comment

ශ්‍රී ලංකාවේ ගොවිතැන සාර්ථක කර ගැනීම සදහා කුඩා බිම් ප්‍රමාණයක වගා කර වැඩි අස්වනු ප්‍රමාණයක් ලබා ගත හැකි  නවීන තාක්ෂණයෙන් යුතු  ලෝකයේ දියුණු කෘෂිකාර්මික රටවල් භාවිතා කරන  04 වන පරම්පරාවේ දියර පොහොර නිෂ්පාදන කර්මාන්තශාලාවක් මෙරට තුළ ස්ථාපිත කිරීම සදහා  අවශ්‍ය තාක්ෂණය රැගත් දකුණු කොරියානු ආයෝජකයන් දෙදෙනෙකු ඊයේ (16)   පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

අන් ජින්සොක් ( An Jinseok) සහ සොන්ග් ජේ හෝ ( Song Jae Ho )  එම ආයෝජකයන් දෙදෙනා වන අතර , ඔවුන්ගේ දකුණු කොරියාවේ පිහිටි මව් සමාගමට අයත් සමාගම් 68 ක් ලොව පුරා පවතින බව ගුවන් තොටුපොළේ දී අනාවරණය කළේය .

මෙම පොහොර තුළ බැර ලෝහ මෙන්ම අන්තරායක විෂ රසායන ද්‍රව්‍ය අඩංගු නොවන අතර  මිනිස් පරිභෝජනයට ඉතා හිතකර වීම විශේෂත්වයකි

එසේම මෙම පොහොර මිළ ගණන් සාපේක්ෂ වශයෙන් දැනට භාවිතා කරන 01 වන හෝ 02 වන පරම්පරාවේ පොහොර මිළ ගනන් වලට වඩා අඩු මට්ටමක පවතින අතර  ඒවා  ගොවි බිම තුළට ඩ්‍රෝන තාක්ෂණය මගින් ඉසීම සිදු කළ හැකිය .

එමගින් වැඩි අස්වනු ප්‍රමාණයක් නෙළා ගැනීම සදහා අඩු පොහොර  ප්‍රමාණයක් යෙදීම ද විශේෂත්වයකි .

මෙම ආයෝජකයන් දෙදෙනා දැනට  ශ්‍රී ලංකාවට වසර 03 ක සිට දකුණු කොරියාවේ සිය නිෂ්පාදිත පොහොර  සැපයීම සිදු කරමින් පවතින අතර මෙතැන් සිට ශ්‍රී ලාංකික ආයෝජකයෙකු වන බුද්ධික හේවගේ මහතා සමග එක් වී දකුණු කොරියාවේ එම පොහොර කර්මාන්තශාලාව  ශ්‍රී ලංකාව තුළ නව කර්මාන්තශාලාවක් ලෙස  ස්ථාපිත කිරීමට අවශ්‍ය ශඛ්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමට මෙම ආයෝජකයන් බලාපොරොත්තු වන බව ද පැවසීය .

මේ වනවිට මෙම දකුණු කොරියානු සමාගම  සිය නිෂ්පාදිත 04 වන පරම්පරාවේ දියර පොහොර ලෝකයේ රටවල් 14 ක් වෙත අපනයනය කරන අතර එම ඇනවුම් ද සමග මෙම නව කර්මාන්තශාලාව මෙරටට තුළ ස්ථාපිත කිරීමට ඔවුන් අදහස්  කර තිබේ .

මීට අමතරව මෙම කර්මාන්තශාලාව තුළ වාහන වලින් පිට කෙරෙන කාබන්මොනොක්සයිඩ් වායුව නිසා වායු ගෝලයට සහ පරිසරයට සිදු වන බලපෑම අවම කිරීම සදහා දකුණු කොරියාවේ හයිහුන්ඩායි සමාගම සමග එක්ව නිෂ්පාදනය කර ඇති උපකරණ පද්ධතියක් ද නිෂ්පාදනය කර මෙරට වාහන හිමියන් වෙත ලබාදීමට ද මෙම ආයෝජකයන් අදහස් කර තිබේ .

ඒ සදහා වත්මන් රජයේ කෘෂිකර්ම පරිසර , ප්‍රවාහන , සහ කර්මාන්ත අමාත්‍යවරුන් ඇතුළු රජයේ උසස් නිලධාරීන් මුණ ගැසී සාකච්ඡා කිරීමෙන් අනතුරුව  මෙම නව තාක්ෂණික , 04 වන පරම්පරාවේ දියර පොහොර  සහ වායු දූෂණය අවම කිරීමේ උපාංග කර්මාන්තශාලාව මාතර ප්‍රදේශයේ ස්ථාපිත කර එහි නිෂ්පාදන ලොව පුරා අලෙවි කිරීමට සැළසුම් කර ඇති බව ද එම ආයෝජකයන් දෙදෙනා කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසීය .

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT