Tuesday, April 22, 2025
Home » කොළඹ-හැටන් ලංගම බසයේ කොන්දොස්තරට-රියැදුරුට අමානුෂික ප්‍රහාරයක්

කොළඹ-හැටන් ලංගම බසයේ කොන්දොස්තරට-රියැදුරුට අමානුෂික ප්‍රහාරයක්

-පරීක්ෂණයක් කරන්නැයි ඩිපෝ අධිකාරිගෙන් පැමිණිල්ලක්

by sachintha
December 17, 2024 1:48 am 0 comment

කොළඹ සිට හැටන් දක්වා ධාවනය වූ හැටන් ලංගම ඩිපෝවට අයත් බස් රථයේ රියැදුරුට සහ කොන්දොස්තරවරයාව බස් රථයෙන් පිටතට ගෙන ප්‍රධාන මාර්ගයේ දී පිරිසක් අමානුෂික ලෙස පහර දීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කර පහරදීම සිදු කළ පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා ලෙස හැටන් ලංගම ඩිපෝවේ පාලන අධිකාරිය වැල්ලම්පිටිය පොලීසියෙන් ඉල්ලා සිටියි.

කොළඹ සිට හැටන් දක්වා පෙරේදා (15) ධාවනය වූ ලංගම බස් රථය වැල්ලම්පිටිය, කොටිකාවත්ත ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබියදී බස් රථය ඉස්සර කර ධාවනය වූ යතුරුපැදියක් ප්‍රධාන මාර්ගය හරහා ලිස්සාගොස් පෙරළී යෑමෙන් යතුරුපැදියේ පිටුපස ගමන් ගත් කාන්තාවක් ප්‍රධාන මාර්ගය හරහා වැටීමෙන් ඊට පසුපසින් ධාවනය වූ හැටන් ලංගම ඩිපෝවේ බස් රථයට යට වී කාන්තාව එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වීමෙන් පසු එයට කෝප වූ මාර්ගය අසල සිටි පිරිසක් බස් රථයේ රියැදුරා සහ කොන්දොස්තරවරයාට අමානුෂික ලෙස පහර දී තුවාල සිදු කර ඇත.

බස් රථයේ රියැදුරා තමන්ට පහර නොදෙන ලෙසට වැඳ ඉල්ලා සිටි නමුත්, එම පිරිස දිගින් දිගටම පහර දීම නිසා රියැදුරාට තුවාල සිදු වී ඇත.

අනතුර සිදු කිරීම හේතුවෙන් බස් රථයේ රියැදුරාව වැල්ලම්පිටිය පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුට පහර දීම නිසා සිදු වූ තුවාල හේතුවෙන් ඔහු රෝහල්ගත කිරීමට අවශ්‍ය බව පවසා සිටි නමුත් වැල්ලම්පිටිය පොලීසියේ නිලධාරීන් රියැදුරු රෝහල් ගත කර නොමැති බව හැටන් ලංගම ඩිපෝවේ පාලන අධිකාරිය පවසා සිටියේ.

අනතුර සිදු කිරීම සම්බන්ධයෙන් නීතිය නිසි ලෙස ඉටු කිරීම පොලීසියේ වගකීම බවත්, එම වගකීම ඔවුන් විසින් නිසි ලෙස ඉටු කර ඇතත්, නීතිය පසකලා අනතුර සිදු වූ ස්ථානයේ සිටි පිරිසක් රියැදුරුට සහ කොන්දොස්තරවරයාට පහර දීම තරයේ හෙලා දකින බවයි ඩිපෝවේ පාලන අධිකාරිය පවසා සිටියේ.

රියැදුරුට සහ කොන්දොස්තරට පහර දුන් පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට වැල්ලම්පිටිය පොලීසියේ නිලධාරින් ක්‍රියා නොකලහොත් හැටන් ලංගම ඩිපෝවේ සේවකයින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නියැලීමට සැලසුම් කර ඇති බවයි පාලන අධිකාරිය වැඩිදුරටත් පවසා සිටියේ.

එම බස් රථයේ ගමන් ගත් මඟියෙකු විසින් රියැදුරාට පහරදෙන අයුරු ජංගම දුරකතනයෙන් පටිගත කර සමාජ මාධ්‍යට මුදා හැර තිබුණි.

හැටන් – රංජිත් රාජපක්ෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT