Monday, April 21, 2025
Home » ගිය වසරට සාපේක්ෂව මෙරට අපනයන 32%කින් බිඳ වැටිලා

ගිය වසරට සාපේක්ෂව මෙරට අපනයන 32%කින් බිඳ වැටිලා

-නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ

by sachintha
December 17, 2024 2:00 am 0 comment

බදු වෙනස්කම් නිසා ගිය අවුරුද්දට සාපේක්ෂව සියයට 32කින් මෙරට අපනයන ප්‍රමාණය බිඳවැටී ඇතැයි කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ මහතා පැවසීය.

නියෝජ්‍ය ඇමතිවරයා මේ බව පැවසුවේ පෙරේදා (15) රත්න විද්‍යාඥ සංගමය කොළඹදී සංවිධානය කළ මැණික් ප්‍රදර්ශනයට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේ ද කීවේය.

“අපේ රට මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ ආවේණික කුසලතාවක් සහිත රටක්. කාලාන්තරයක් මැණික් හා ස්වර්ණාභරණ කලාව සහ ඒ දක්ෂතාව අපට තිබුණා. අවාසනාවකට අපේ රටේ නිසි ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොවීම නිසා මේ කර්මාන්තය අපෙන් ගිලිහෙමින් තිබෙනවා. අපේ රටේ ඛනිජ සම්පත්වලින් උපරිම ප්‍රයෝජනය ගැනීමට අවශ්‍ය ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග ගැනීමක් මේ දක්වා සිදුව නෑ. මැණික් හා ස්වර්ණාභරණ අංශයේ කර්මාන්තයේ නියැළී සිටින අයගේ කැපවීම මත අද දක්වා මේ කර්මාන්තය යම්කිසි මට්ටමකට පැමිණ තිබෙනවා.

නමුත් පසුගිය අවුරුදු දෙක ඇතුළත සිදු වූ බදු වෙනස්කම් නිසා ගිය අවුරුද්දට වඩා සියයට 32කින් පමණ අපේ අපනයන ප්‍රමාණය බිඳ වැටී තියෙනවා. බිඳ වැටුණු රට ඉදිරියට ගන්න රත්න විද්‍යාඥ සංගමය මේ ප්‍රදර්ශනය සංවිධාන කරනවා. මේ වගේ ප්‍රදර්ශනයක් බලනකොට අපට තේරෙනවා කොයිතරම් අපහසුතා මැද ද මේක කරන්නේ කියලා. තාක්ෂණය, බදු ප්‍රතිපත්තිය, රාජ්‍ය යන්ත්‍රණය තුළ තිබෙන විවිධ බාධක, ලියාපදිංචි කිරීමේ බාධා, සහතික කිරීමේ බාධා, වංචා අක්‍රමිකතා නිසා මේ කර්මාන්තයට ඉදිරි ගමනක් යන්න බැරි වෙලා තිබෙනවා. ජාතික ජනබලවේගය රජයේ ප්‍රධාන වගකීමක් වෙන්නේ මේ තියෙන බාධා ඉවත් කර මේ කර්මාන්තය ඩොලර් බිලියන තුනක කර්මාන්තයක් බවට පත්කරගන්න අවශ්‍ය මඟපාදන එකයි. මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ සියලු ප්‍රවීණයන් අද අපත් එක්ක එකතු වෙලා ඉන්නවා, මේ කර්මාන්තය කොහොමද ඉදිරියට ගෙන යන්නේ කියන එක ගැන කතා කරන්න. ඒ සඳහා අපට යම්කිසි ප්‍රතිපත්තිමය වෙනසක් අවශ්‍යයි.”

නෙරංජලා වික්‍රමසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT