(ගල්කිස්ස බෞද්ධායතනාධිපති කොළඹ නව කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක කොළඹ ආනන්ද විද්‍යාලයේ විශ්‍රාමික සහකාර විදුහල්පති ආචාර්ය දිවියාගහ යසස්සි නාහිමියන් වහන්සේට ශ්‍යාමෝපාලි මහනිකායේ අස්ගිරි මහා විහාරයේ මහානායක සානු නායක කාරක සංඝ සභාව වෙතින් ලබන සෙනසුරාදා (21) ප්‍රවචන කීර්ති ශ්‍රී ශාසන ජෝතික යන ගෞරව නාමය සහිත උපහාර පිදීම සිදු කෙරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.)
බුදු වදනට අනුව යම් යතිවරයන් වහන්සේ නමක් බුදු දහම මැනවින් හදාරා භෞතික සැප සම්පත් සියල්ල හැර දමා ශ්‍රමණයන් වහන්සේ කෙනෙකු බවට පත්වේ නම් ඔහු ශ්‍රමණ ජීවිතයක උසස් සාපල්‍යතා උදාකර ගන්නා කෙනෙකු ලෙස සම්බුද්ධ ශාසනයේ මහත් ගෞරවාදරයට ලක් වෙයි. එමෙන්ම තිදොර සංවර කරගත් පස්කම් සුවයෙන් මිදුණු මහණ තෙමේ උපශාන්ත භික්ෂුවක් ලෙස බුදුපියාණන් වහන්සේ ධම්මපදයේ භික්ඛු වග්ගයේදී වදාළහ.භික්ෂුවකට වෙන් වූ ආකල්ප සමාචාරයේ යෙදෙන්නා මේ ශාසනයේ පුන්සඳක් සේ හැම කල්හිම බැබළීමට පත්වෙන බව ද බුදු හිමියෝ දෙසූහ. මේ සෑම නිර්වචනයකටම ගල්කිස්ස, වටරප්පල පාරේ බෞද්ධායතනාධිපති කොළඹ නව කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශ්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ උපාධ්‍යාය ධුරන්දර දිවියාගහ යසස්සි නායක මහනාහිමියන් වහන්සේ සුදුසුකම් ලබති.අස්ගිරි මහා විහාරය අද උන්වහන්සේට මෙසේ උපහාර පුදන්නේ මේ උතුම් භික්‍ෂු ප්‍රතිපදාව නිවැරදිව අර්ථසම්පන්නව ලෝක ශාසනික මෙහෙවරේ යෙදවූ බැවිනි.
2025 ජනවාරි 2 වැනි දින තම අනූවැනි ජන්ම දිනය ද යෙදෙන අප නායක මහා හිමියන් වහන්සේ සම්බුද්ධ ශාසනය සෝභමානත්වයට පත් කරන්න දශක අටක් පුරා සිදු කළේ අනුපමේය මෙහෙවරකි. භික්ෂු දිවිය අභියෝගාත්මක ජීවිතයකි. ඒ බව පැහැදිලි කෙරෙන්නේ මජ්ඣිම නිකායේ චාතුම සූත්‍රය විමසා බලනවිටයි. එහි එන රළ සුළි කිඹුල් මත්ස්‍ය බිය හොඳින් වටහාගෙන කිසි විටෙකත් ශාසනික ගෞරවයට කෙලෙසක් වන්න ඉඩනොදී අසූ වසක් පුරා දැරූ කසාවත කෙතරම් විප්ලවීය කාරණාවක් ද යන්න තේරුම් ගත යුත්තකි. කොළඹ දිසාවේ වර්තමානයේ වැඩ සිටින වියපත්ම යතිවරයන් වහන්සේනමක ලෙස අප දිවියාගහ නාහිමියන් වහන්සේ ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු සඟ පරපුරට පමණක් නොව ත්‍රෛනිකායික මහා සංඝ සමාජයටම දීප්තිමත් පහන් ටැඹක් වෙති.
ශාසනය බබළුවණාරා භික්ෂුවක් බහුශ්‍රැතභාවය දියුණු කරගත යුතුය. ඒ සඳහා පිරිවෙන් අධ්‍යාපනය, සරසවි අධ්‍යාපනය ඇතුළු ප්‍රාචීන අධ්‍යාපන ආයතනවලින් ලබා ගන්නා දැනුම එම බහුශ්‍රැතභාවයට හේතු වෙයි. ඒ සඳහා උන්වහන්සේ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනින් ද විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් ද තම අධ්‍යාපන ලෝකය සපුරා ගනිමින් භික්ෂු ජීවිතයක වැදගත්ම තනතුරක් වන ගුරු පදවියට ප්‍රවේශ වන්නේ මාතර ශ්‍රී සුදර්ශි පිරිවෙනෙනි. අනතුරුව කෝංගල මහා විද්‍යාලය, පාලටුව ගුණරතන මහා විද්‍යාලය, කඩුවෙල බෝමිරිය මහා විද්‍යාලය වැනි උසස් පාසල්හි ගුරු සේවය නිමවා 1970 දී කොළඹ ආනන්ද විද්‍යාලයේ ගුරු පදවියට පැමිණ විශ්‍රාම යනතුරාම අඛණ්ඩ විසි එක් වසක ගුරු මෙහෙවර ආනන්ද විද්‍යාලයට සුවිශේෂී ආනන්දීය සංස්කෘතියක් හඳුන්වා දීමට කැප කළහ. ආනන්ද විද්‍යාලයේ පරම්පරා ගණනක ගුරුවරයා වූ උන්වහන්සේට අදත් ආදි ආනන්දීයන් වෙතින් ලැබෙන්නේ මහත් හරසරය. එපමණක් නොව වර්තමානයේ ද ආනන්ද විද්‍යාලයේ සියලු කටයුතු අප නාහිමියන්ගේ අවවාද අනුශාසනා මත සිදුවීම ද ඉතා වැදගත්ය. සහකාර විදුහල්පතිවරයකු ලෙස ආනන්දයෙන් විශ්‍රාම ලබන උන්වහන්සේ පිරිවෙන් ගුරුවරුන් පුහුණු කරන්නා වූ එවකට පැවති රත්මලාන පරිවෙණාචාර්ය අභ්‍යාස විද්‍යාලයේ විදුහල්පති ධුරය දරා භික්ෂු අධ්‍යාපනය නඟාලීමට මහත් සේ කැපවූහ.
ගත් කතුවරයකු ලෙස අප නායක මාහිමියන් වහන්සේ විසින් ග්‍රන්ථ රාශියක් මෙන්ම ලිපි ලේඛන දහස් ගණනක් රචනා කොට පළ කර තිබේ. ඒ අතරේ සුවිශේෂී කෘතියක් වන්නේ ලංකාව හා ආසන්න රාජ්‍යයෝ නමින් රචනා කෙරුණු ඉතිහාස ග්‍රන්ථයයි. දීර්ඝ කාලයක් ලංකාවේ පාසල්වල, පිරිවෙන්වල ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍ර ග්‍රන්ථයක් ලෙස මෙය භාවිතයට ගැනිණි. එවැනි පොත්පත් රාශියකි. වඩාත්ම වටිනා දෙය වන්නේ අනූවන වියට එළඹෙන අද දවසේදීත් උන්වහන්සේ පුවත්පත්, සඟරා ආදියට සාරගර්භ ලිපි සම්පාදනයෙහිලා දක්වන උනන්දුවයි.
උන්වහන්සේ විසින් ලෝක ශාසනය වෙනුවෙන් ඉටු කෙරෙන ලද උතුම්ම මෙහෙවර වන්නේ ගල්කිස්ස, වටරප්පල පාරේ බෞද්ධායතනය ගොඩනඟා ඒ තුළින් මේ රටට ඉටු ඉටුකරන්නා වූ උතුම් මෙහෙවරයි. බෞද්ධායතනයට යන ඕනෑම කෙනෙකුට දැකිය හැකි වන්නේ සියලු විහාරාරාමවලින් පිරිපුන් ඉතා පින්බර ආරාම පරිශ්‍රයකි. සිංහල ඉංග්‍රීසි දෙබසින්ම ධර්ම අධ්‍යාපනය ලබන විශාල සිසු පිරිසක් රැඳෙන දහම් පාසල ද නිරන්තර බණ භාවනාවෙන් සපිරුණු ගත, සිත සනහා ගන්නා සැදැහැවතුන්ගෙන් පිරුණු මේ පින්බිම බුදුපියාණන් වහන්සේගේ ධර්මාලෝකයේ ක්ෂේම භූමියක් බඳුය.
නාහිමි දැක්මෙන් ගොඩනැඟෙන බෞද්ධායතන සංවර්ධන සංගමය ලංකාවේ විවිධ දුෂ්කර ප්‍රදේශවල ජීවත්වන ජනතාවට සහ භික්ෂූන් වහන්සේට සපයන්නේ ඉතාම වැදගත් මෙහෙවරකි. දුෂ්කර විහාරස්ථාන තෝරා බේරාගෙන ඒවා නඟාසිටුවාලමින් සනීපාරක්ෂක සේවා දියුණු කිරීමත් ජනතාවගේ ජන දිවිය උසස් කරලීමට අතහිතදීමත් පසුගිය කාලපරිච්ඡේදය පුරාම උන්වහන්සේ සිදු කළහ. ලේඛනයේදී පමණක් නොව දෙසුමෙහිලා ඉතා හුරුබුහුටියක් ලද උන්වහන්සේ ඉතා දක්ෂ, ජනප්‍රිය, අර්ථවත් ධර්ම දේශකයන් වහන්සේ නමකි. එපමණක් නොව ඕනෑම උත්සව සභාවක, ආදාහනයක, දන්හලක සාරගර්භම දෙසුම පවත්වන දේශකයන් වහන්සේ ද උන්වහන්සේය. කිසිවිටෙකත් සාම්ප්‍රදායික නොවන උන්වහන්සේ හැම කල්හිම නවීන අදහස්වලින් පොහොසත්ව කරුණු ඉදිරිපත් කිරීම නිසා ආධුනිකයන්ට උන්වහන්සේගෙන් ලැබෙන මඟපෙන්වීම අදටත් බෙහෙවින් වටී.ලංකාවේ සියලු බෞද්ධ සංවිධාන නියෝජනය කරමින් අති ගෞරවාර්හ මඩිහේ පඤ්ඤාසීහ මහානාහිමියන් ගොඩනැගූ බුද්ධ ශාසන කාර්යසාධක මණ්ඩලයේ දීර්ඝ කාලයක සිට සභාපති නායක මාහිමිපාණන් වහන්සේ ලෙස සෑම මාසයකම කොළඹ බෞද්ධ සම්මේලන ශාලාවේදී රැස්වෙන සභාව මෙහෙයවන්න වැඩමවති. එහි මුලසුන ගෙන වර්තමානයේ සම්බුද්ධ ශාසනයත්, ජාතියත් මුහුණ දෙන විවිධ ගැටලු ප්‍රශ්න විමසමින් ඒවා නිරාකරණය කළයුතු ආකාරය පිළිබඳව අවශ්‍ය අනුශාසනා ලබා දෙති.
සඟ සසුනට ප්‍රදීපයක් වූ අප නාහිමියන්ගේ උතුම් මෙහෙවර අගයන අස්ගිරි මහා විහාරය ලබන 21දා උන්වහන්සේ වෙත ප්‍රවචන කීර්ති ශ්‍රී ශාසන ජෝතික ගෞරව නාමය ප්‍රදානය කරන්නේ උන්වහන්සේ ලෝක ශාසනයට ඉටු කළ උතුම් මෙහෙවර මහත් සේ ඇගයීමක් ලෙසය.
90 වසක් සපුරන අපගේ නාහිමියන් වහන්සේට තවදුරටත් සියවසක් පුරා ලෝක ශාසනික මෙහෙවර ඉටුකරන්න තෙරුවන් බෙලෙන් ආයුරාරෝග්‍යා දී සම්පත් සැලසේවා!
කොළඹ විශ්වවිද්‍යාලයේ
සිංහල අධ්‍යයන අංශයේ
මහාචාර්ය අගලකඩ සිරිසුමන නාහිමි,
බස්නාහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක