Monday, April 21, 2025
Home » දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය ප්‍රධාන ධාරාවන් තුනක් යටතේ සංවර්ධනයට සැලසුම්

දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය ප්‍රධාන ධාරාවන් තුනක් යටතේ සංවර්ධනයට සැලසුම්

by yasara
December 17, 2024 3:51 pm 0 comment

දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය ප්‍රධාන ධාරාවන් 03 ක් යටතේ සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බවත්, එම ක්ෂේත්‍රයේ ද දායකත්වයෙන් සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් මිලියන 8500 ක ආදායම් ඉපයීමේ ඉලක්කයක් අපේක්ෂා කරන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර  සිටියේ අමාත්‍යධූරයට පත්වීමෙන් අනතුරුව දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ කටයුතු සොයා බැලීමේ නිරීක්ෂණයට එක්වෙමින් එම අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුලු  කාර්ය මණ්ඩලය සමග පැවති සාකච්ඡාවකදීය.

මෙම නිරීක්ෂණ චාරිකාවේ දී දේශීය වෛද්‍ය සේවාවේ පවතින අඩුපාඩු සොයාබැලූ අමාත්‍යවරයා  විසදුම් ලබාදිය හැකි යැයි හදුනාගත් ගැටළු රාශියකට කඩිනම් විසදුම් ලබාදීමට සැළසුම් කළ අතර, ඉදිරි සැළසුම් සකස් කිරීම සදහා ඉතා දීර්ඝ ලෙස නිලධාරීන් සමග සාකච්ඡා කරමින් කරුණු එක්රැස් කර ගැනීම ද සිදු කරන ලදි.

මෙරට ජනතාවට සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් ගත කිරීම සදහා දැනට පවතින ආයුර්වේද ක්ෂේත්‍රය සංවර්ධනයට පියවර ගැනීම, බටහිර, ආයුර්වේද, සිද්ධ, යුනානි, හෝමියෝපති, පාරම්පරික සහ දේශීය වෛද්‍ය ක්‍රමයන් ඒකාබද්ධ කර තෝරාගත් ස්ථානවල එක් ඒකකයක් ලෙස පර්යේෂණ මට්ටමෙන් ක්‍රියාත්මක කිරීම මෙන්ම සංචාරක ව්‍යාපාරය  ප්‍රවර්ධනය අරමුණු කර දේශීය ආයුර්වේද ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම යන ප්‍රධාන ධාරාවන් ත්‍රිත්වය ඔස්සේ ඉදිරි සැළසුම් සකස් කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා පැවසීය.

මේ වන විට බටහිර වෛද්‍ය ක්‍රමය ක්‍රියාත්මක වන රජයේ රෝහල් 1164 ක් ද, ආයුර්වේද අංශයේ රෝහල් 112 ක් ද මෙරට සෞඛ්‍ය සේවාව තුල ක්‍රියාත්මක වන බව සිහිපත් කළ අමාත්‍යවරයා එම සෑම රෝහලක් පිළිබදවම පෞද්ගලිකව අවධානය යොමු කර දියුණූ මට්ටමට ගෙනඑ්ම තම අරමුණ බව ද සදහන් කළේය. එමෙන්ම දේශීය වෛද්‍ය ක්‍රමය මනා ලෙස සංවර්ධනය කරමින් ඉලක්ක ගතව එම වෛද්‍ය ක්‍රමයට අනන්‍ය වූ සුවිශේෂතා  හදුනාගෙන ඒවා සංචාරක ව්‍යාපාරය  හා බද්ධ කර සංචාරක ක්ෂේත්‍රය දියුණු කිරීම ද රජයේ ප්‍රමුඛ අරමුණක් බව ද පැවසීය.

ඉදිරි වසර දෙක ඇතුලත දී මෙරටට සංචාරකයින් මිලියන හතරක් ගෙන්වා ගැනීමත්, ලබන වර්ෂයේදී සංචාරකයින් මිලියන තුනේ සීමාවට යාමත් රජයේ අපේක්ෂාව බව සදහන් කල අමාත්‍යවරයා සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් මිලියන 8500 ක ආදායමක් ඉපැයීම ඉලක්කය බව සදහන් කළේය. ඒ සදහා දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂතා භාවිතා කිරීමට දැනටමත් සැළසුම් සකස් කරමින් සිටින බව ද අමාත්‍යවරයා පැවසීය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, ආයුර්වේද කොමසාරිස් ජනරාල් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන, දේශීය වෛද්‍ය අංශයේ අතිරේක ලේකම්වරුන් වන ෂම්මි දෙනාවත්ත, චන්දන තිලකරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු කාර්ය මණ්ඩලයේ පිරිසක් එක්ව සිටියහ.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT