රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා එල්.ඊ.ඩී. පුවරු ආලෝක පෙට්ටි තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් ඊයේ (15) අලුයම බණ්ඩාරගම ගම්මන්පිල වැවට වැටී අනතුරකට ලක්වූ බව බණ්ඩාරගම පොලීසිය කියයි. අනතුරට ලක්වන විට ලොරි රථයේ රියැදුරු ඇතුළු පුද්ගලයන් තිදෙනකු ගමන් කර ඇති අතර ඔවුන්ගේ ජීවිත බේරී ඇත. කැස්බෑව දෙස සිට බණ්ඩාරගම දෙසට ලොරිය ධාවනය වෙමින් තිබියදී, ඊයේ (15) අලුයම 5.00ට පමණ ගම්මන්පිල වැව පිහිටි කොටසේ වංගුවක් ආසන්නයේදී ලොරිය මාර්ගයෙන් ඉවතට ගොස් මාර්ග සංඥා පුවරු තුනකට ද හානි කරමින් වැවට පෙරළී මෙම අනතුර සිදු වී තිබේ. ලොරිය පිටුපසින් පැමිණි මෝටර් රථයක සිටි පුද්ගලයකු අනතුර දැක මෝටර් රථය නවතා ලොරිය තුළ සිටි පුද්ගලයන්ව පිටතට ගැනීමට උපකාර කර ඇත.
ලොරියේ ඉදිරිපස දොර වීදුරු වසා පැමිණියේ නම් ඔවුන් පිටතට ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවනු ඇතැයි ද එම පුද්ගලයන්ගේ ජීවිත පවා දැඩි අවදානමකට ලක් වීමට ඉඩකඩක් ඇතැයිද පොලිසිය සඳහන් කරයි. වැවට පෙරළී තිබූ ලොරිය දොඹකරයක් ආධාරයෙන් පැය කිහිපයකට පසු ගොඩට ගැනීමට කටයුතු කෙරිණි. බණ්ඩාරගම පොලීසියේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර ද සිල්වා මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක නිම්න ජයසුන්දර මහතාගේ මෙහෙයවීමෙන් පො.සැ. (48899) ඉන්දික, කොස්තාපල්වරුන් වන (83771) ප්‍රසාද්, (100282) සේනානායක, (101393) මැදවල යන මහත්වරු පරීක්ෂණ පවත්වති.
බණ්ඩාරගම – බිමල් ජයසිංහ