Home » කුමන තරාතිරමක කෙනෙක් වුණත් වරදක් කර ඇත්නම් ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්න මැළිවන්නේ නෑ

කුමන තරාතිරමක කෙනෙක් වුණත් වරදක් කර ඇත්නම් ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්න මැළිවන්නේ නෑ

-ජනාධිපති අනුර කුමාර දිසානායක

by sachintha
December 16, 2024 3:35 am 0 comment

කුමන තරාතිරමක කෙනෙක් වුවත් වරදක් කර ඇත්නම් ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්නා බවත්, ජනතාව තමන් සහ තම කණ්ඩායම කෙරෙහි තැබූ විශ්වාසය කුමන ආකාරයකින් හෝ පලුදු වීමට ඉඩ තබන්නේ නැති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, රජයේ මාධ්‍ය ප්‍රධානීන් සමඟ පසුගියදා (13) පැවැත්වූ හමුවේදීය.

එහිදී ජනාධිපතිවරයා මෙසේ ද පැවසීය.

“කවුරුන් හෝ ආණ්ඩුවේ මොන වගකීම දැරුවත්, වැරැද්දක් කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් ද ක්‍රියාමාර්ග ගන්නවා. දශක හතකට වැඩි කාලයක් තිස්සේ මේ රටේ ජනතාව විවිධ ආණ්ඩු බිහි කළා. විවිධ ආණ්ඩු පෙරළුවා.

ඉතිහාසයේ පළමු වැනි වතාවට මෙවර මේ රටේ ජනතාව අවස්ථා දෙකකදී අපට සහ ජාතික ජනබලවේගයට ලබා දුන් ඓතිහාසික ජන වරමේ අර්ථය සහ හරය කුමක්ද කියන එක සම්බන්ධව අපට පුළුල් කියවීමක් තියෙනවා.

ප්‍රමිතිගත සහ ස්ථාවර රටක් නිර්මාණය කරනු ඇතැයි යන විශ්වාසය ඇතිව මේ රටේ ජනතාව ජාතික ජනබලවේගයේ ආණ්ඩුව බිහි කළා.ඒ සුවිශේෂී විශ්වාසයට අබමල් රේණුවකින් හෝ හානියක් වන්නට අපේ ආණ්ඩුව කිසි විටෙකත් ඉඩක් තබන්නේ නැහැ.

ඉතාම කෙටියෙන් කිවහොත්,රට තුළ වැරදි කරන කිසිවකු, කිසිම හේතුවකට ආරක්ෂා කිරීමට අපේ ආණ්ඩුව සූදානම් නැහැ. රට තුළ පමණක් නොවෙයි, අපේ ආණ්ඩුව තුළ කවර තරාතිරමක කෙනෙක් වුණත් වැරැද්දක් කරනවා නම් ඒ වැරැද්දට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න අපි පැකිළෙන්නේ නැහැ.

ඒ සම්බන්ධයෙන් ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගතයුතු නිවැරදිම මොහොතේ ගැනීමට අප දෙවරක් කල්පනා කරන්නේ නැහැ.

දශක 07ක් තිස්සේ රැවටීමට ලක් වූ ජනතාව අප කෙරෙහි තබා තිබෙන විශ්වාසය සුරක්ෂිත කිරීමට සහ මේ රට වඩා යහපත් රටක් කිරීමට තම ආණ්ඩුව කොන්දේසි විරහිතව කැප වෙනවා.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ බණ්ඩාර මහත්වරුන් ඇතුළු රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් මෙම හමුව පැවැත්විණි.

උපාලි කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT