Home » ශ්‍රී ලංකාවේ අභිවෘද්ධියට තාක්ෂණික සහ මූල්‍ය සහාය එජාතීන්ගේ මෙරට නේවාසික සම්බන්ධීකාරක කියයි

ශ්‍රී ලංකාවේ අභිවෘද්ධියට තාක්ෂණික සහ මූල්‍ය සහාය එජාතීන්ගේ මෙරට නේවාසික සම්බන්ධීකාරක කියයි

by sachintha
December 16, 2024 1:33 am 0 comment

 

ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය වෙනුවෙන් තාක්ෂණික සහ මූල්‍ය සහාය ඉදිරියටත් නොඅඩුව ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක Marc-André Franche මහතා පැවසීය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක (UN Resident Coordinator – RCO) Marc-André Franche මහතා ඇතුළු නියෝජිත පිරිසක් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හමුවු අවස්ථාවේ දී Franche මහතා මෙම අදහස් පළ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඇමැතිවරයා මෙසේද පැවසීය.

“එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරකවරයා දීර්ඝ කාලයක් පුරා මෙරට රජය සහ ජනතාව සමඟ ගෙනගිය හවුල්කාරීත්වය තවත් ශක්තිමත් කරමින් ඉදිරියට අඛණ්ඩව ගෙන යෑමට කටයුතු කරනවා. එමෙන්ම රට තුළ තිරසර සාමයක් ප්‍රවර්ධනය කිරීම සඳහා වන නව ආණ්ඩුවේ මුලපිරීම සඳහා ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සහාය ලබා දෙන බවට ප්‍රතිඥා දෙනවා.”

පසුගිය මැතිවරණය තුළ ලබාදුන් විශාල ජනවරමත් සමඟ මහජන අපේක්ෂාවන් ද ඉහළ මට්ටමක පවතින බැවින් ඉදිරි කාලසීමාව අභියෝගාත්මක වන බව නේවාසික සම්බන්ධීකාරකවරයා මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැතිවරයාට පෙන්වා දෙන ලදි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වැඩසටහන් තුළින් ආර්ථික සහ සෞඛ්‍ය අභියෝගයන් ජයගැනීමට දරන්නා වූ ප්‍රයත්නයටත් ප්‍රජාව අතර, ජාතික සමගිය සඳහා වූ ශ්‍රී ලංකා නව ආණ්ඩුවේ සුවිශේෂී මුලපිරීමටත් මෙහිදී පැසසුම් එක් කළ නේවාසික සම්බන්ධීකාරකවරයා විවිධ කණ්ඩායම් අතර විශ්වාසය වර්ධනය කිරීම සඳහා ජනමාධ්‍ය ඇමැතිවරයා ලෙස විශාල කාර්යභාරයක් සිදු කිරීමේ හැකියාවක් වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට පවතින බවත් පැවසීය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාව තුළ සිය කටයුතු දීර්ඝ කාලයක් පුරා ක්‍රියාත්මක කරමින් ජනතාවට වඩා හොඳ ජීවන තත්ත්වයක් භුක්ති විඳීමට මෙන්ම සහතික කිරීමට අඛණ්ඩව කටයුතු කර ඇති බව මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස මහතා සිහිපත් කළේය.

එමෙන්ම දීර්ඝකාලීනව මෙරට සංවර්ධන කටයුතුවලදීත්, හදිසි ව්‍යසන අවස්ථාවලදීත්, මතුවූ අභියෝගයන්ට මුහුණ දීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය, සිවිල් සමාජය, රාජ්‍ය නොවන සංවිධාන, ප්‍රජාව, ද්විපාර්ශ්වික පරිත්‍යාගශීලීන් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ එක්ව පුළුල් පරාසයක හවුල්කාරීත්වයන් තුළින් සහාය ලබාදී ඇති බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

බුද්ධිකා ඉඹුලාන, සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT