ශාරීරික අභ්‍යාසවල නිරතව සිටියදී මාතලේ කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ පෞද්ගලික සහායක ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් මොළගොඩ මහතා මෝටර් රථයක හප්පා මරණයට පත් කරමින් පලාගිය රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත.
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ මළ සිරුරු වත්තේගම නගරයේ පෞද්ගලික බැංකුවක් අසල කානුවක තිබී පෙරේදා (14) සොයාගැනීමත් සමඟ පොලිස් කණ්ඩායම් කිහිපයක් ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරනු ලැබීය. එහිදී අනාවරණය වී ඇත්තේ මෝටර් රථයක් පොලිස් නිලධාරියා හප්පා පලා ගොස් ඇති බවයි. රියැදුරු අම්පාරේ පදිංචිකරුවකු බව පොලීසිය ප්‍රකාශ කළේය.
ව්‍යායාම කටයුතු සඳහා පෙරේදා (14) පෙ.ව. 4.45ට පමණ නිවෙසින් පිටව ගොස් තිබෙන 58 හැවිරිදි පොලිස් පරීක්ෂකවරයාගේ මළ සිරුර ඔහුගේ නිවෙසේ සිට කිලෝ මීටරයක් පමණ දුරක තිබී පොලීසිය විසින් සොයාගනු ලැබුවේ එදින පෙ.ව. 8.00ට පමණය.
පුරුද්දක් ලෙස දෛනිකව පොලිස් පරීක්ෂකවරයා ශාරීරික ව්‍යායාම සඳහා පෙ.ව. 4.45ට නිවෙසින් පිටව ගොස් පැයක පමණ කාලයකදී නැවත නිවෙසට පැමිණ රාජකාරි සඳහා පිටව යන බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
තෙල්දෙණිය වැඩ බලන මහේස්ත්‍රාත් කුමාර කරල්ලියද්ද මහත්මිය ස්ථානීය පරීක්ෂණය සිදු කිරීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මළ සිරුර මහනුවර ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කර තිබේ. මෙය රිය අනතුරකට ලක්ව සුසුම්නාවට ඇති වූ තුවාල හේතුවෙන් සිදු වූ මරණයක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත.
මියගිය පොලිස් පරීක්ෂකවරයා නියෝජ්‍ය පොලිස්පතිවරු හා කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු කිහිප දෙනකුගේම පෞද්ගලික සහායක ලෙස කටයුතු කර තිබෙන බව පොලීසිය ප්‍රකාශ කළේය.
තෙල්දෙණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ රොෂාන් අමරසිංහ මහතාගේ උපදෙස් මත වත්තේගම පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර මහතා ඇතුළු කණ්ඩායමක් අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
අසේල කුරුළුවංශ