Home » බස් ලලිත්ගේ තර්ජනවලට බියෙන් හංවැල්ලේ ව්‍යාපාරිකයන් රැසක් ගෙවල්-වෙළෙඳසල් වසා පැනගිහින්

බස් ලලිත්ගේ තර්ජනවලට බියෙන් හංවැල්ලේ ව්‍යාපාරිකයන් රැසක් ගෙවල්-වෙළෙඳසල් වසා පැනගිහින්

by sachintha
December 16, 2024 1:08 am 0 comment

කන්නංගරගේ ලලිත් කන්නන්ගර නොහොත් බස් ලලිත්

ඩුබායි රාජ්‍යයේ සැඟව සිට හංවැල්ල කේන්ද්‍ර කරගෙන මිනිස් ඝාතන සහ කප්පම් ගැනීමේ නිරත කන්නංගරගේ ලලිත් කන්නංගර නොහොත් බස් ලලිත් නමැති අපරාධකරුගේ තර්ජන හේතුවෙන් ව්‍යාපාරිකයන් රැසක් සිය ව්‍යාපාරික ස්ථාන වසා නිවෙස් හැර ගොස් ඇතැයි පොලීසිය කියයි. මේ අපරාධකරුගේ තර්ජන හමුවේ මේ වන විටත් හංවැල්ල ප්‍රදේශයේ ඉන්ධන හලකටද පොලිස් ආරක්ෂාව යොදවා ඇත.

මේ අපරාධකරු 34 හැවිරිදි අයකු වන අතර, ඔහු මනුෂ්‍ය ඝාතන 5කට පොලීසියට අවශ්‍ය කරන පුද්ගලයකු බවට පොලිස් පොතේ සටහන්ව තිබේ.

ඒ අතරින් බූරු මූණා ලවා 2022 දෙසැම්බර් 18 දින හංවැල්ලේ මුස්ලිම් ව්‍යාපාරිකයකු වන ෆර්ශාන් ඝාතනය කිරීම සමාජයේ දැඩි කතාබහට ලක් විය.

ඊට හේතු වූයේද අදාළ ව්‍යාපාරිකයා ඔහුට කප්පම් මුදල් නොදීමයි. එමෙන්ම ඉකුත් සැප්තැම්බර් 30 දා හංවැල්ල නෙළුවත්තුඩුව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු ඝාතනයට ලක් වූයේද ඒ හේතුවෙනි. එයද සමාජයේ දැඩි කතාබහට ලක් විය. එලෙස ඝාතනයට ලක් වූ පුද්ගලයා ලලිත් කන්නංගරට බස් රැකියාවක් පළමුව දුන් පුද්ගලයා විය. මේ ඝාතන දෙක අතරතුර 2023 දෙසැම්බර් 25 දින හංවැල්ල, නිරිපොළ ප්‍රදේශයේදී මන්නා රොෂාන් නම් පුද්ගලයකු ඝාතනය කිරීම මෙන්ම 2024 මාර්තු 4 දින පාදුක්ක, තුන්නාන ප්‍රදේශයේදී මන්න රොෂාන්ගේ සහෝදරයා ඝාතනය කර තවත් පුද්ගලයකුට බරපත, තුවාල සිදු කිරීම සැකකරු සිදු කළ අපරාධ අතර සටහන්ව ඇතැයි පොලීසිය කියයි.

ලලිත්ට බියෙන් ගේදොර අත්හැර ගිය අය අතර ඝාතනයට ලක් වූ ව්‍යාපාරිකයන් සහ පුද්ගලයන්ගේ පවුල්වල උදවියද සිටින බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අතර බූරුමූණා විසින් ඝාතනය කළ මුස්ලිම් ව්‍යාපාරිකයා ෆර්ශාන්ගේ සොහොයුරාට අයත් නිවෙස ඇතැයි දැනගන්නට ඇත. මීපේ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලට අමතරව තවත් ඉන්ධන පිරවුම්හල් කිහිපයකින්ම මොහු කප්පම් ඉල්ලා ඇති බව සඳහන්ය.

ලලිත් කන්නංගර නමැති මේ අපරාධකරු අත්අඩංගුවට ගැනීම සඳහා මෙරට ආරක්‍ෂක අංශ මගින් ජාත්‍යන්තර පොලීසිය මඟින් රතු නිවේදනද ගෙන ඇත. වරක් ඔහු ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන මුදාහැර තිබිණි.

ලලිත් කන්නන්ගරයේ බිරිය සහ දරුවන් දිඹුලාගල ප්‍රදේශයේ සඟවා ඇති බවටද ආරක්ෂක අංශ මගින් මේ වන විට සොයාගෙන තිබේ.

බණ්ඩාරගම – බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT