Monday, April 21, 2025
Home » ජාතික ආර්ථික වර්ධනය ස්ථාවර මට්ටමක – චීන ජාතික සංඛ්‍යා‍ ලේඛන දෙපාර්තමේන්තුව පවසයි

ජාතික ආර්ථික වර්ධනය ස්ථාවර මට්ටමක – චීන ජාතික සංඛ්‍යා‍ ලේඛන දෙපාර්තමේන්තුව පවසයි

by chanaka
December 16, 2024 1:38 pm 0 comment

ජාතික ආර්ථික වර්ධනය ස්ථාවර මට්ටමක පවතින බව චීන ජාතික සංඛ්‍යා‍ ලේඛන දෙපාර්තමේන්තුව පවසයි. චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලයේ අද (16) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක‍ට එක් වෙමින් ජාතික සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ ප්‍රවෘත්ති ප්‍රකාශක ෆු ලිං හුවෙයි මහතා මේ බව පැවසීය.

එමෙන්ම පසුගිය නොවැම්බර් මාසයේ ජාතික ආර්ථික ක්‍රියාකාරීත්වය පිළිබඳව ද හෙතෙම එහිදී විස්තර කළේ ය.

පසුගිය නොවැම්බර් මාසයේ චීනයේ කාර්මික වර්ධනය, යන්ත්‍රෝපකරණ හා අධි තාක්ෂණික නිෂ්පාදන වේගවත් වී ඇති බවත්, වාර්ෂික ආදායම චීන යුවාන් කෝටි 2 ඉක්ම වූ කාර්මික ව්‍යවසායන්හි අතිරේක අගය පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂ ව 5.4%කින් වර්ධනය වූ බවත්, ඒ මහතා එම මාධ්‍ය හමුවේදී කියා සිටී. එමෙන්ම සේවා කර්මාන්තයේ ද වර්ධනයක් දක්නට ලැබෙන අතර එම මාසයේ එහි නිෂ්පාදන දර්ශකය පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව 6.1%කින් වැඩි වී ඇති බවත් ෆු ලිං හුවෙයි මහතා පැවසීය.

තවද, වෙළඳපොලේ අඛණ්ඩව ක්‍රියාකාරී වන අතර නිශ්චිත වත්කම් ආයෝජනය, නිෂ්පාදන සහ අධි තාක්ෂණ කර්මාන්තයන් හි තිරසර වර්ධනයක් පෙන්නුම් කර ඇති බවත් ඒ අනුව පසුගිය වසරේ නොවැම්බර් මාසයට සාපේක්ෂව මෙවර එම කාලය තුළ රටේ පාරිභෝගික භාණ්ඩ සිල්ලර අලෙවිය 3%කින් ද, නිශ්චිත වත්කම් ආයෝජනය 7.4%කින් ද වර්ධනය වී ඇතැයි ෆු ලිං හුවෙයි මහතා පවසයි. එමෙන් ම භාණ්ඩ ආනයනය හා අපනයනය වර්ධනය වූ අතර වෙළඳ ව්‍යූහය අඛණ්ඩව ප්‍රශස්ත වෙමින් පවතී. පසුගිය නොවැම්බර් මාසයේ චීනයේ ආනයනික භාණ්ඩවල සමස්ත අගය චීන යුවාන් බිලියන 3750.6කි. එය පසුගිය වසරේ එම කාලයට වඩා 1.2%ක වර්ධනයකි.

මේ වසරේ චීනයේ ධාන්‍ය නිෂ්පාදනය පළමු වරට කිලෝග්‍රෑම් බිලියන 700 ඉක්මවා ගොස් ඇති බවත්, එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 1.6%ක අගයකින් වැඩි වී ඇති බවත්, චීන ජාතික සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ ප්‍රවෘත්ති ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT