ලෝක සාහිත්‍යයේ නව ප්‍රවණතාවලට අනුව හැඟුම්බරවීම වරදක් නොවේ. උද්වේගකර වීමද වරදක් නොවේ. අනුවේදනීය කතා ලිවීම දෝෂයක් ලෙස ගැනීම මෝඩකමකි. සහෘදයා අතෑරයාමෙකි. ඔබ ඒ මෝඩකමට හසුවිය යුතු නැත. අඬන මිනිසුන්ට වැඩි – වැඩියෙන් හඬන්නට ඉඩදෙන්න! ඔවුන්ගේ හදවත විවෘත කරන්න! හරි මාර්ගය දැක පැනයන්න එපා!…
ලෝක නවකතා පර්යාය තුළ විවිධාකාර ශානර, පුරාවෘත්ත ශිල්ප – ධර්ම, සම්ප්‍රදායයන් මෙන්ම සුවිශේෂී කේවලවෘත්තාන්ත ද දැකගත හැකිය. නවකතා කියැවීම මෙන්ම ඒවා පිළිබඳ තොරතුරු හා දත්ත එකතු කිරීමද තවත් වින්දනීය මාර්ගයකි. එයින් ජීවිත පරිඥානය පුළුල් වෙයි. සාහිත්‍ය දැනුම වර්ධනය වෙයි. ප්‍රබන්ධ කථා විෂයයෙහි අතීතයේ සිටම පැවැති මතවාදයක් වූයේ අනුවේදනීය කතා සම්ප්‍රදායක් ඊට හිමි විය යුතු බවය.
විශේෂයෙන්ම පාඨක ප්‍රජාව තුළ අනුවේදනීය කතාවලට නැඹුරුවීමේ ප්‍රවණතාවක් ඇතැ’යි තර්කයක් පවතී. ඊට එරෙහිව නැඟෙන මතවාදය වන්නේ පාඨකයා උද්වේගකර අවස්ථාවන් වෙත තල්ලු කිරීම මෙන්ම ඔහුගේ හැඟීම් ප්‍රකෝප කිරීම ද සාහිත්‍යයට අදාළ ශිෂ්ට මාර්ග නොවන බවය. කුමක් වුව සාහිත්‍යට නඩු විභාග අවශ්‍ය නැත. අවසන් විනිශ්චයක් අවශ්‍ය නැත. නිදොස් කොට නිදහස් කිරීමක් කිසිසේත්ම අවශ්‍ය නැත.
මගේ දුවත් – එම පුත්‍රයාත් ලන්ඩන් නුවර සිට පැරිසියටත් මැඩ්රිඩ් නුවරටත් සංචාරයකට ගියහ. මට අවශ්‍ය විශේෂ දෙයක් ඇතොත්; කියන්නැ’යි ඔව්හු ඉල්ලා සිටියහ. මගේ එකම ඉල්ලීම වූයේ ‘බෙස්ට් සෙලින්ග්’ නවකතා කිහිපයක් එවන්න යන්නය. ඔවුන් එම ඉල්ලීම ඉටුකර තිබිණි. හොඳ පොත් ගණනාවක් ඒවා තිබිණි. ඒ අතරින් මගේ වැඩිම අවධානය යොමු වූයේ ‘BETTY’ නම් නවකතාව වෙතය. සම්මාන ගණනාවක් දිනාගෙන ඇති එම නවකතාව අනුවේදනීය කතා ගණයට වැටේ. එමෙන්ම එහි රචිකාව වන ‘ටිෆ්නි මැක්ඩැනියල්’ අමෙරිකානු ප්‍රබන්ධ කථා ක්ෂේත්‍රෙයහි ප්‍රබල චරිතයක් බවද වාර්තා වී ඇත. ‘BETTY’ යනු ටිෆ්නිගේ දෙවන නිර්මාණය වන අතර එය දැනටම ප්‍රබල සංවාදයක් මතු කර තිබේ. කෘතිය සමාජ ගත වන්නේ මෑතකදීය. මේ කෘතිය ගැනත් අනුවේදනීය කතා සම්ප්‍රදාය ගැනත් ප්‍රවාදයක් ගොඩනැඟීමට අද මේ තීරය වෙන්වේ.
ලේඛකයාගේ අභ්‍යාසය + පාඨක ආකර්ෂණය = කර්මාන්තයේ දියුණුව. මේ එකිනෙක සාධක කෙරෙහි බලපාන අවශේෂ කරුණු කිහිපයක් ද පවතී. සරල නිදසුනක් කිවහොත් ලේඛකයාගේ අභ්‍යාසයක අධ්‍යාපනයේ හා සාහිත්‍යයේ නව ප්‍රවණතා බලපායි. පාඨක ආකර්ෂණයට ද අධ්‍යාපනය හා නව ප්‍රවණතා බලපායි. කර්මාන්තයේ දියුණුවට රාජ්‍ය අනුග්‍රහය හා බදු ප්‍රතිපත්ති බලපායි. ශ්‍රී ලංකාවේ පොත් කර්මාන්තය සඳහා ලැබෙන රාජ්‍ය අනුග්‍රහය ඉතා අල්ප එකක් වන අතර, පොත් අලෙවියේදී අයකරගනු ලබන බද්ද ඉතා ඉහළ එකක් වන්නේය. එය සංඛ්‍යාත්මකව ගතහොත් 18%කි.
පොත් කර්මාන්තය සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතු වැදගත් ප්‍රස්තෘත ගණනාවක් තිබේ. එහෙත් අද අපගේ අවධානයට ලක් වන්නේ නවකතාවට අදාළ අනුවේදනීය කතා වස්තු යන්නය. ඒ සඳහා අදාළ කර ගත් නවකතාව වන්නේ BETTY යන්නය. මේ අමෙරිකානු නවකතාව පළමුවරට මුද්‍රණයෙන් එළිදැක්වෙන්නේ 2021 ජූලියේදීය. කතුවරිය ටිෆ්නි මැක්ඩැනියෙල්ය. කිවිඳියක හා දෘෂ්‍ය කලා අධ්‍යක්ෂවරියක ද වන ටිෆ්නි අමෙරිකන් ප්‍රබන්ධ කථාවේදී අත්හැරිය නොහැකි චරිතයක් ලෙසද සැලකේ. BETTY යනු ඇයගේ දෙවන නවකතාව බවට මතකයක් අපට තිබේ.
අනුවේදනීය කතා වස්තුව යනු කුමක් ද? එය නවකතාවට සුවිශේෂ වන්නේ කෙසේ ද? ඉතා වැදගත් ප්‍රශ්න දෙකකි. සාමාන්‍ය ව්‍යවහාරයේදී “සිම්පනි කතා” ලෙස හඳුන්වන්නේ අනුවේදනීය කතාය. “සංවේදනා බහුල කතා”, “මානුෂීය කතා”, “අපරාධ කතා”, “දුක හිතෙන කතා” ආදී ලෙසින් වැරැදි යෙදුම්ද ඒ සඳහා භාවිතා කරන බවක් දැකගත හැකිය. කුමක් වුව අධි සංවේදී කතා ලෙස ඒවා හඳුන්වා දිය හැකිය. “SYMPATHY STORIES POIG NANT STORIES” යන යෙදුම් දෙකෙන් අනුවේදනීය කතා හඳුන්වනු ලැබේ. විශේෂ ලක්ෂණ දෙකක් එම කතාවල ඇත.
(I) ජීවිතය පවත්වා ගැනීම සඳහා දරාගත නොහැකි තරමේ සටනක යෙදීම හා එම සටන් ද බොහෝවිට පරාජයට පත්වීම.
(II) ජීවිතය තුළ අහිමිවීම් අධික වීම හා වෙන්වීම් බහුල වීම, හුදෙකලා අසරණ ජීවිතයක් උරුම වීම.
මේ කතා රචනයේදී බොහෝවිට සත්‍ය අත්දැකීම් පාදක කර ගනු ලැබේ. BETTY යනු ද සාහිත්‍ය අත්දැකීම් පෙළක් ඇසුරුකොට රචනා වූ නවකතාවකි. එහි කතාව කියන කථකයා ප්‍රධාන චරිතයේ දුව වන්නීය. අමෙරිකාවේ රතු ඉන්දියානු ගෝත්‍රික පවුලක තරුණයකු හා යුග ජීවිතයක් ආරම්භ කරන සුදු ජාතික තරුණියකගේ ජීවන කතාව මීට පාදක වෙයි. ඇය දරුවන් විශාල ප්‍රමාණයක් ලබන අතර, ගෝත්‍රික චරිතය සමඟ ගැටුම්කාරී පවුල් ජීවිතයක් ගත කරති. කතාවේ ගැටුම් අංශ ගණනාවකින් ද පැතිකඩ කිහිපයකින් ද නිරූපණය වෙයි.
(I) පවුල් සංස්ථාවේ ගැටුම
(II) ලිංගික ආරවුල්
(III) දරුවන්ගේ ගැටලු
(IV) පාරම්පරික ගැටලු – මාපිය ගැටලු
(V) ගෝත්‍රිකයාගේ චින්තනය හා සුදු ජාතික කාන්තාවගේ සම්ප්‍රදායන් අතර නොගැළපීම ඔස්සේ මතුවන මානුෂීය ගැටුම්.
කතාවට පසුබිම් වන්නේ අමෙරිකාවේ උප නගරයක් වන ඔහියෝ හි භූමි කලාපයක ජනාවාසයකි. එහි ප්‍රධාන ලක්ෂණ තුනක් ඇත.
(i) දුප්පත්කම
(ii) ප්‍රචණ්ඩත්වය
(iii) විනය විරෝධී ලිංගික ක්‍රියාවලිය ශිෂ්ටත්වය ප්‍රතික්ෂේප කිරීම
එය එක පැත්තකින් පවුලේ කතාවක් සේ සැලැකිය හැකිය. පවුලක් ලෙස ගත් කල බෙටීගේ පවුල මුළුමනින්ම අවුල්සහගතය. බිරිය හා සැමියා වෙඩි තබා ගනිති. පොර බදති. ගහගනිති. දරුවන් ද ඊට වෙනස් නැත. ඔවුන් ජීවත්වීම සඳහා තුවක්කුව භාවිතා කරන අවස්ථා තිබේ. කුමක් වුව කෙනකුට පහරදීම, ඝාතනය කිරීම, බලහත්කාරයෙන් දූෂණය කිරීම මේ සමාජයට කිසිදු අමුත්තකින් තොරව කළ හැකිය. එම පවුලට සම්බන්ධ ප්‍රචණ්ඩ ක්‍රියා වරින්-වර පුවත්පත්වල පළ වෙයි. මේ පවුලට ඒවා සාමාන්‍ය සිද්ධි බවට පත්වෙයි.
ටිෆ්නි මැක්ඩැනියල් ගැන සඳහන් කරන විචාරකගේ ඇය කඳුළු නොසඟවන ලේඛිකාවක් බව කියා සිටිති. ඇගේ කතා වස්තු ගොඩනැඟීම තුළ ද නිරූපණය කළ ද කැපීපෙනෙන ලක්ෂණ කිහිපයක් දැකිය හැකිය.
ටිෆ්නි මැක්ඩැනියල්ගේ ප්‍රථම නවකතාව වන්නේ “The Summer That Melted Everything” යන්නය. එයට පාදක වන්නේ අහිමිවීම් ගැනය. සියල්ල අහිමිවී ගියද ජීවිතය අත් නොහරින චරිතවලට කතාකාරිය ආකර්ෂණය වී සිටින බවක් පෙනෙයි. අමෙරිකාවේ මහා ලේඛක අර්නස්ට් හෙමිංවේ යනු අහිමිවීම්වලට දාර්ශනිකත්වයක් ලබාදුන් ලේඛකයෙකි. හෙමිංවේගේ ශෛලිය හා දැක්ම ටිෆ්නි කෙරෙහි ද යම් බලපෑමක් ඇති කර තිබෙන බවක් දැනෙයි. ඔහුගේ උපදේශනය වන්නේ සත්‍ය සිදුවීම්, සත්‍ය චරිත, සත්‍ය ස්ථාන ප්‍රබන්ධ කථාවලට පාදක කර ගැනීම වැදගත් වන බවය. ටිෆ්නි ද එය අනුගමනය කරයි.