Saturday, April 19, 2025
Home » ප්‍රශ්නයක් නොව උත්තරයක අංශු මාත්‍රයක්

ප්‍රශ්නයක් නොව උත්තරයක අංශු මාත්‍රයක්

by sachintha
December 16, 2024 1:31 am 0 comment

වායු සමීකරණය කළ තනි කාමරයක, ලැප්ටොප් පරිගණකයක් ළඟ තබාගෙන නීති විභාගය කොට ‘නීතිවේදියෙක්’ බවට පත්වූ රජ කුමාරයෙක් අපට සිටියේය. ඇසින් දුටු සාක්ෂියට රටේවත් පය ගසාගෙන සිටිය හැකි තත්ත්වයක් උදාවූයේ නැත. තමන් දන්නා වෛද්‍ය විද්‍යාව, විද්‍යාත්මක කෘෂි කර්මාන්තයකට යොදවන්නේ යැයි කියූ ජනතාවගේ බදු මුදලින් ඉගෙන, සාමාජිකයන්ගේ සාමාජික මුදලින් නඩත්තු වූ විශේෂඥ වෛද්‍යවරයකු නිසා එක රැයින් කාබනික ගොවිතැනක් බවට පත්කරන්නට ගොස් බිලියන ගණනින් රටේ මුදල් කාබාසිනියා කරන ලදි .

 

ඉකුත් සතියේ දේශපාලන කරළිය තුළ තීරණාත්මක සංසිද්ධි කිහිපයක්ම සිදුවිය. ජාතික ජන බලවේගය විසින් පිහිටුවා ගනු ලැබූ පාර්ලිමේන්තුවේ කථානායක ලෙස කටයුතු කළ අශෝක රන්වල ඉල්ලා අස්විය. රාජපක්ෂ පාලනයේ අති සමීපතමයන් දෙදෙනකු වන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේනට සහ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මඟින් සම්බාධක සහ වීසා සීමා පනවනු ලැබිණි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට යොදවා සිටි ආරක්ෂක අංශ සාමාජිකයන් 116 දෙනකු යළි කැඳවන ලදි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව බළල් අතක් කරගැනීමට ගත් උත්සාහය අධිකරණය විසින් පරාජයට පත් කෙරිණි. “වඩාත් සංකීර්ණ හා අභියෝගාත්මක ස්වෛරී ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කරමින්, ශ්‍රී ලංකාව සිය ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් කරන ලදි. මේ සියල්ල එකිනෙකට සම්බන්ධයක් ඇතැයි බැලූ බැල්මට නොපෙනේ. එහෙත් කිසිවකට නොදෙවැනි සේ මේ සියල්ලම ජාතික වැදගත්කමකින් යුතු එකිනෙකට බැඳී පවත්නා සංසිද්ධි ජාලයක් බැව් සියුම්ව නිරීක්ෂණය කළ හැකිය. එහෙත් ඒ වටිනාකම් පසෙක තිබියදී දේශපාලන වශයෙන් බංකොළොත්වී ඇති ප්‍රතිවාදීන් වැඩි අවධානයක් දී තිබුණේ කථානායකවරයාගේ ඉල්ලා අස්වීම කෙරෙහි පමණි. අපගේ අවධානය යොමුවිය යුත්තේ ඒ මන්ද යන්නය.

සමාජයේ කතිකාවත

වත්මන් පාලක පක්ෂයේ ගාමක බලවේගය වන්නේ ජනතා විමුක්ති පෙරමුණයි. එය 1971 දීත්, 88-89 වකවානුවේදීත් දහස් සංඛ්‍යාත ජීවිතවලින් වන්දි ගෙවා ලෙයින්, ඩහදියෙන්, කඳුළින් ගොඩනැඟුණු පීඩිත පන්තියේ ව්‍යාපාරයකි. මරණය පෙනි පෙනී එදා දේශපාලනය තෝරාගත් තරුණ තරුණියන් අද මැදිවියේ හෝ වැඩිහිටි වියේ සිටින්නන් විය හැකි බව සැබෑය. එදා ඔවුන් පීඩිත පන්තියේ ජන අරගලය ශක්තිමත් කරනු ලැබුවේ තමාගේ වත්පොහොසත්කම්, රැකියා, අධ්‍යාපනය පමණක් නොව ජීවිතය පවා පරදුවට තබමිනි. එකී ව්‍යාපාරයේ සිටියේ උපාධිය අතහැර ජීවිතයත් මරණයත් අතර සෙල්ලම් කරන දේශපාලනයක් තෝරාගත් පිරිසකි. ඇතැමුන් පසුකලෙක උපාධි සම්පූර්ණ කරනු ලැබුවේ සිරකඳවුරු තුළදීය. එහෙව් සංවිධානයක කෙනකුට උපාධි සහතිකය යනු වැදගැම්මකට ඇති, සිතූ පැතූ සම්පත් උදාකරන මැජික් යෂ්ටියක් නම් නොවේ. කුමක් හෝ හේතුවකට දැන් සිදුවිය යුතු දේ සිදුවී හමාරය. එහෙත් අප විසින් මෙහි පසුබිම් සංසිද්ධි සිහිපත් කරගත යුතුමය. මන්දයත් පාර්ලිමේන්තුව තුළ ‘පීඩිත පන්තියේ දේශපාලනය’ ජෝක් කරන ව්‍යාපෘතියක් දියත්වී ඇතැයි සැක සිතන්නට කරුණු කාරණා බොහෝ නිසාය.

නිදසුනක් ලෙස අශෝක රන්වල මෙම පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස තෝරාපත් කර ගැනීමෙන් පසු අවම වශයෙන් ඊට අදාළ නිල ඇඳුම අඳින්නේ පලඳින්නේ කෙසේද, ඊට අදාළ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් මොනවාද යන්න තේරුම් බේරුම් කර දීම පාර්ලිමේන්තු මහලේකම්වරිය ප්‍රමුඛ කාර්ය මණ්ඩලයේ වගකීමකි. මූලාරම්භයේදීම අප දුටුවේ හිස්වැසුම පැලඳීමේ දී සිදුවූ අත්වැරදීමක් හාස්‍යයට ලක්කරන සංසිද්ධියකි. ජනාධිපතිවරයාගේ සම්ප්‍රාප්තියට බොහෝ වේලාවක් තිබියදී, මෙම අත්වැරදීම නිවැරදි කරන්නට පාර්ලිමේන්තුවේ කිසිදු කාර්යමණ්ඩල සාමාජිකයකු ඉදිරිපත්වී නොතිබීම ගැටලුසහගත නොවන්නේ ද? අධිකරණ අමාත්‍යවරයාගේ නමට ඉදිරියෙන් ‘ආචාර්ය’ පට්ටමක් අලවන ලද්දේ අත්වැරදීමකින් බව පෙන්වාදෙමින් පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය විසින් නිල නිවේදනයක් නිකුත් කෙරුණේ එවැනි ආචාර්ය, මහාචාර්ය නාම පිළිබඳ දැවැන්ත කතිකාවක් සමාජය තුළ නිර්මාණය වෙමින් තිබියදීය. ඒවා හුදු සුළු අත්වැරදි ලෙස සැලකිය නොහැක්කේ එම සංසිද්ධි තටු ලබා වේගයෙන් මහාපරිමාණ ප්‍රචාරණ ව්‍යාපෘතියක ප්‍රධාන භූමිකාවක් බවට පත්වෙනු ඇස්පනා පිටම දැකගත හැකි නිසාය. ඒත් මෙරට පොදු ජනයා තම කැමැත්ත ලබාදුන්නේ ආචාර්ය, මහාචාර්ය පට්ට අන්දරයන්ට නොව දූෂිතයන් පලවා හරින්නට බව මෙකී එදාවේල ටුවර්ස් මඩ න්‍යායාචාර්යවරුන්ට තවමත් නොවැටහීම කනගාටුවට කරුණකි.

සැකයේ වාසිය

තමාගේ අධ්‍යාපන සුදුසුකම් නොබෝ කලකින් තහවුරු කරන බව හිටපු කථානායකවරයා පවසා ඇතත්, ඔහු කළේ බොරුවක්ම බවට සැකයේ වාසිය ප්‍රතිවාදීන්ට ලබාදුන්න ද, ඉතිරිව ඇත්තේ කුමක්ද? එයින් රටට සිදුවූ බරපතළ හානිය කුමක්ද? එය හානිපූරණය කළ නොහැකි තරමේ විනාශයක් ද? යන්න පෙරළා ප්‍රශ්න කළ යුතුමය. මෙය සංසන්දනය කළ යුත්තේ මීට ප්‍රථම නිසි ක්‍රමවේද ඔස්සේ අධ්‍යාපන සුදුසුකම් සම්පූර්ණ නොකළ පිරිස්, තමන්ගේ දැනඋගත්කම් නොදන්නා විෂය ක්ෂේත්‍රයක උගත්කමක් සේ හුවා දැක්වීම් කළ පිරිස්, කොටින්ම ‘උගත් බොරුව’ රටේ විනාශයට මංපෑදූ පිරිස් සමඟය. වායු සමීකරණය කළ තනි කාමරයක, ලැප්ටොප් පරිගණකයක් ළඟ තබාගෙන නීති විභාගය කොට ‘නීතිවේදියෙක්’බවට පත්වූ රජ කුමාරයෙක් අපට සිටියේය. ඇසින් දුටු සාක්ෂියට රටේවත් පය ගසාගෙන සිටිය හැකි තත්ත්වයක් උදාවූයේ නැත. තමන් දන්නා වෛද්‍ය විද්‍යාව, විද්‍යාත්මක කෘෂි කර්මාන්තයකට යොදවන්නේ යැයි කියූ ජනතාවගේ බදු මුදලින් ඉගෙන, සාමාජිකයන්ගේ සාමාජික මුදලින් නඩත්තු වූ විශේෂඥ වෛද්‍යවරයකු නිසා එක රැයින් කාබනික ගොවිතැනක් බවට පත්කරන්නට ගොස් බිලියන ගණනින් රටේ මුදල් කාබාසිනියා කරන ලදි. ගොවියා, ගොවිබිමේ අනාථ කළා පමණක් නොව දහස් සංඛ්‍යාත පිරිසකට නොකා, නොබී දුක්විඳින තත්ත්වයකට ඇද දමන ලදී. තම පුතාගේ ආශාව රටේ පොදුජන අභිලාෂයැයි සිතූ පාලකයෙක් නිසා රොකට් යවන්නට ගිය ආචාර්ය පුතකු නිසා ද, මේ රටේ බදු ගෙවන ජනයාගේ මහජන මුදල් බිලියන ගණනින් අවභාවිත කෙරුණු අතර දැන් එකී ආචාරියා හෝ යවපු රොකට්ටුවක් ගැන හාංකවිසියක්වත් නැත.

බඩගෝස්තරවාදී දේශපාලනය

පැලෝපීය නාලයක් මිරිකා සිංහල මවුවරුන් වඳ කරන්නට හැකි යැයි තම දේශපාලන බඩගෝස්තරය වෙනුවෙන් නටපු නෙයියාඩම අහවර වූයේ ගෞරවාන්විතව රැකියාව කළ වෛද්‍ය වෘත්තිකයකුගේ පවුල සීසිකඩ විසුරුවා දමා, දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීමෙන් නොනැවතී තවත් වසර ගණනාවකට කැළැල් මතුකරමිනි. මහජන කැලඹීමක නෂ්ටාවශේෂ ඉතිරි කරමිනි. මෙවැනි නිදසුන් බොහෝ වුවද, අවසාන වශයෙන් ‘ආචාර්ය’කම ආභරණයක් කරගනිමින් බිලියන ගණනින් මහජන මුදල් යටිමඩි ගසමින්, අවිහිංසක රෝගීන් ගණනාවක් මරු තුරුලට යැවූ හිටපු සුව ඇමැතිතුමා ද සිහිපත් වීම වැළැක්විය නොහැකිය. එහෙත් රන්වලගේ ‘ආචාර්ය’ නාම තහඩුව නිසාම කාගෙවත් පැළ තවානක තම්පලා පැළයක්වත් පොඩිවුණේ නැත. හිටපු සුව ඇමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් පාර්ලිමේන්තුවට ගෙන ආව ද, එය පරාජය විය. අද දවසේ රන්වලගේ විශ්වාසය ප්‍රශ්න කරමින් විශ්වාසභංග ගෙන ඒමට කැසකැවූ බොහෝ දෙනා එදා රෝගීන්ගේ ජීවිත බිල්ලට දී තම මඩිය තරකරගත් පුද්ගලයාගේ ආරක්ෂකයන් විය.

විශ්වාසභංගය

එකී විශ්වාසභංගය පරාජය කරන්නට ඒ වෙද්දිත් තමාට සදාචාරාත්මක වශයෙන් නොතිබුණු ජනවරමක් (එකී ජනවරමේ ප්‍රමුඛයා ජන විරෝධය හමුවේ පලාගිය පසු) පාදඩකරණයේ යොදමින් පෙරමුණ ගත්තවුන්ය. එදාට වඩා සැබෑ ජනවරමක උරුමකම් ඇති, තුනෙන් දෙකකට වඩා වැඩි බලයක් මහජන ඡන්දයෙන්ම උරුම කරගත් වත්මන් ආණ්ඩුවට මෙම ඕනෑම විශ්වාසභංගයක් පරාජය කරන්නට හැකි බව ඕනෑම ඔලමොට්ටලයකුට වුව පහසුවෙන් තේරුම්ගත හැකිය. එසේ තිබියදී ‘කෙනෙකුගේ වැරැද්දක් ඇතිවී ඇත්නම් එය වහා නිවැරැදි කරන බව’ ජනාධිපතිවරයා විසින් පවසා එහි උණුසුම පහව යන්නටත් මත්තෙන් ඉල්ලා අස්වෙන්නට කථානායකවරයා විසින් කටයුතු කර තිබිණි. ජනවරම අවභාවිත නොකරමින් සැබෑ ජනතා රජයක් ක්‍රියා කරන්නේ කෙසේද, යන්නට එය මෑත දේශපාලන ඉතිහාසයට ලබාදුන් කදිම ආදර්ශයකි.

තුප්පහි දේශපාලන සංස්කෘතියේ හොල්මන්

ඉකුත් පාර්ලිමේන්තුව මෙන් කප්පම් ගැනීමේ වරදට අධිකරණයෙන් දඬුවම් ලැබූවන් , රත්නපුර වැනි ප්‍රදේශවල සිදුකළ මනුෂ්‍ය ඝාතනයන්ට අධිකරණයෙන් දඬුවම් හිමිවූ අපරාධකරුවන් රජයේ ප්‍රබල ඇමැතිකම් හෙබවීම තබා මෙවර පාර්ලිමේන්තුවවත් නියෝජනය කරන්නේ නැත. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයෙන් කුඩු ව්‍යාපාරිකයකුගේ නි‍ෙවස වැටලූ පසු ජනාධිපතිවරයා සහ සහෝදරයා හෙළිකොප්ටරයෙන් ගෙදරට ගොස් ජාවාරම්කරුවන් බදා වැලඳගන්නේ නැත. එහෙත් එකී මජර, තුප්පහි දේශපාලන සංස්කෘතියේ හොල්මන් හා අවතාර තවමත් ඔබමොබ සැරිසරන බැව් පෙනෙයි. එකී අමනුස්සයින්ට පිදෙන දොළපිදේනිවලින් තමන්ගේ පිඟානටත් යමක් වැටෙන තෙක් බලා සිටින උපන්නාට ඔහේ වැනෙනවුන්ට කිව යුත්තේ අකැමැත්තෙන් වුවද, තව කාලයක් ඉවසන්නට සිදුවනු ඇති බවය. රන්වල සිද්ධිය තරමට අවධානයට ලක් නොවුණු අනෙකුත් සංසිද්ධිවලින් ගම්‍ය වන්නේ කවුරුන් කෙසේ කීවද, තිරසාර සාධනීය ගමනකට මුල්පියවර හෙළිපෙහෙළිවී ඇති බවයි.

වසර ගණනාවක් තිස්සේ රාජ්‍ය තන්ත්‍රයේ දේශපාලන බැඳියාවන් සමඟ කළ මහා පරිමාණ වංචාවන්වලට රට තුළ මෙන්ම ජාත්‍යන්තර ලෝකය තුළ ද, ඉඩක් නැති බව උදයංග-කපිල චන්ද්‍ර‍ෙස්න සිදුවීම පෙන්වයි. එයාර්බස් ගුවන් යානා මිලට ගැනීමේදී වෙළෙඳපොළ වටිනාකමට වැඩි අගයකට ඒවා මිලදී ගැනීම සඳහා අල්ලස් ගත් බවට එල්ල වන මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් ගුවන් යානා මිලදී ගැනීමේ දූෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ බවට එල්ලවන චෝදනා කවුරු පිළිනොගත්ත ද, අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ පවා පිළිගැනීම එවන් දූෂිත ක්‍රමයක ඇණ මුරිච්චිවලටවත් කිසිදු ඉඩක් නොදිය යුතු බවට ඉඟියකි.

නව රජය බලයට පත්වන විට ජනතාවට දුන් එක් පොරොන්දුවක් වූයේ ප්‍රභූ තන්ත්‍රයට සුඛෝපභෝගී ජීවිතයක් ගෙවන්නට, මහජන මුදල් තවදුරටත් කාබාසිනියා කරන්නට ඉඩනොදෙන බවයි. එකී පොරොන්දුව ඉටුකරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබාදී තිබූ පොලීසියේ හා හමුදාවේ නිලධාරීන් 116ක් යළි කැඳවා තිබුණේ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක කටයුතු ආවරණය කිරිම සඳහා අනුයුක්ත කර සිටි පොලිස් නිලධාරීන්ගේ වැය බර වාර්ෂික රුපියල් මිලියන 1100 ක් බව තහවුරු වී තිබුණු පසුබිමකය. එයින් මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් වාර්ෂිකව මිලියන 326කට වැඩි වැය බරක් දරන බව නිල වශයෙන් නිවේදනය කර තිබිණි. ශ්‍රී ලංකා පොලීසියේ සාමාන්‍ය පොලිස් රාජකාරි සඳහා දැනටමත් නිලධාරීන් 24,000 ක ඌණතාවක් පවතින අවස්ථාවක මේ පිරිස සාමාන්‍ය රාජකාරි සඳහා අනියුක්ත කර ගැනීම කාලීන අවශ්‍යතාවකි. අනෙක් අතට රාජ්‍ය සේවය යනු ‘රාජපක්ෂ සේවය’ නොවන බැව් ඔවුන් ද අවසාන මොහොතේ හෝ වටහාගත යුතුමය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්නව , ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස පත්කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කළ නිර්දේශ එම සභාවෙන් දෙවරක් ම ප්‍රතික්ෂේප කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කිරීම ද, ඉකුත් සතියේ නීතියේ ආධිපත්‍යය යළි පිහිටුවෙමින් පවතින බවට දෙන ලද ඉඟියකි.

මේ පෙත්සමෙන් පවසා ඇති ආකාරයේ මහජන යහපතක් මෙහි නැති බවත්, පෞද්ගලික අරමුණක් එහි ඇති බවත්, අධිකරණ විනිසුරුවරයකු සීසර්ගේ බිරිය පොම්පියා තරම්වත් සැක කටයුතු යමක් ඉතිරි නොකළ යුතු බවටත්, පෙත්සම්වල අඩංගු කරුණු සහ ලිඛිත දේශනවල කරුණු ඒ ආකාරයෙන්ම කොපි-පේස්ට් කර ඇති බවත්, තීරණාත්මක නඩුවලදී විනිසුරු මඬුලු මාරු කිරීම බරපතළ තත්ත්වයක් බවත් ආදී වශයෙන් උදාහරණ දක්වමින් තීන්දුවේ අවධාරණය කර ඇත. මේ නිසා රුපියල් ලක්ෂ 20ක වන්දියක් මාස 02ක් තුළ ගෙවන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කරුට නියෝග කර තිබේ. මෙවැනි තීන්දුවකින් පසුවත්, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ධුරයේ නිශ්ශංක බන්දුල කරුණාරත්නට තවදුරටත් කටයුතු කළ හැකි ද, යන්න වෙනම සාකච්ඡා කළ යුතු දෙයකි. මෙකී සියලු අලකලංචි මැද්දේ “වඩාත් සංකීර්ණ හා අභියෝගාත්මක ස්වෛරී ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කරමින්, ශ්‍රී ලංකාව සිය ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් කළ“ බව මුදල් අමාත්‍යාංශය විසින් නිල වශයෙන් නිවේදනය කරනු ලැබ ඇත්තේ ජාජබය බලයට පත්වුවහොත් රට බංකොළොත්වන බවට පත්වන බවට එල්ලවූ චෝදනා අමු පුස්සක් බවට පත්කරමිනි. එබැවින් සියල්ල ඇත්තේ ප්‍රශ්නයක් නොවූ රන්වල ප්‍රශ්නයට වඩා බොහෝ ඉහළිනි.

ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT