Home » රන්වල ආදර්ශය

රන්වල ආදර්ශය

by sachintha
December 16, 2024 1:00 am 0 comment

පුරා සති දෙකකට ආසන්න කාලයක් තිස්සේ බොහෝ මාධ්‍ය සහ සමාජමාධ්‍ය තලු මරමින් සූප්පු කළ තවත් එක් ‘ජාතික ප්‍රශ්නයක්’ යම් මට්ටමකින් හමාර වී තිබේ.

ඒ හිටපු කථානායක අශෝක රන්වලගේ ආචාර්ය උපාධිය පිළිබඳ මතු වූ ආන්දෝලනාත්මක සිද්ධියයි.

මතභේදාත්මක කාරණයට තුඩු දුන් තමාගේ ආචාර්ය උපාධිය පිළිබඳ සාක්ෂි ඉදිරිපත් කිරීමට මේ මොහොතේ තමාට, හැකියාව නොමැති බවත් එය නුදුරු දිනයේදී සාක්ෂි සහිතව ඔප්පු කරන බවත් පවසමින් අශෝක රන්වල කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ මෙරට දේශපාලන සංස්කෘතියේ තවත් තීරණාත්මක කඩඉමක් සටහන් විය.

මන්ද මෙයට පෙර තමන්ට එල්ල වූ දේශපාලනික චෝදනා හමුවේ ඉල්ලා අස්වූ දේශපාලනඥයන් පිළිබඳ ඉතිහාසයක් ශ්‍රී ලාංකේය දේශපාලනික සංස්කෘතිය තුළ නොමැති බැවිනි.

මෙරට දේශපාලන සංස්කෘතියෙහි පෙර නොවූ විරූ දේශපාලනික ආදර්ශයක් ලෙස ‘රන්වල ආදර්ශය’ සැලකිය හැක්කේ එහෙයිනි.

ඉකුත්දා රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන් හමු වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන්කොට තිබුණේ තමන්ගේ පක්ෂයේ අයකු වුවද කිසියම් සමාජ විරෝධී කටයුත්තක නිරත වී ඇත්නම් තරාතිරම නොබලා ක්‍රියාමාර්ග ගන්නා බවයි.

හිටපු කථානායක අශෝක රන්වලගේ ඉල්ලා අස්වීමත්, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උක්ත ප්‍රකාශයත් මෙරට දේශපාලන වගකීම (political responsibility) සහ දේශපාලන වගවීම (Political accuntability) පිළිබඳ ප්‍රායෝගික උදාහරණ සපයන අවස්ථා දෙකකි. එය ජනාධිපතිවරයා ප්‍රමුඛ වර්තමාන රජයට දුන් ජනවරම පිළිබඳ ජනතා විශ්වාසය තහවුරු වන ක්‍රියාකාරකමකි.

යුක්තියේ විනිසුරු අසුන මත තබා සාධාරණය ඉටු කිරීමට පෙර අපි චුදිතයා දඬුකඳේ ගැසීමට කලබල නොවෙමු. එහෙයින් හිටපු කථානායක අශෝක රන්වලයන්ට ස්වකීය නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට ප්‍රමාණවත් කාලයක් දිය යුතු යැයි අපි විශ්වාස කරමු.

කෙසේ නමුත් පුද්ගලයකුගේ සුදුසුකම් පිළිබඳ වන උපාධි හෝ ආචාර්ය උපාධි පරීක්ෂා කිරීම මේ මොහොතේ ඇති ජාතික ගැටලුව යැයි අපි නොසිතමු. බොහෝ මාධ්‍ය තලු මරමින් ඉහත කාරණය ප්‍රමුඛ ලෙස හුවා දක්වද්දී ග්‍රාමීය සමාජයේ පීඩිත ජනතාව මුහුණදෙන සැබෑ ජනතා ගැටලු අමතකව ඒවා ද්විතීයික තැනට පත්ව තිබුණි.

උපාධිය හෝ ආචාර්ය උපාධිය යනු ‘සංකේතීය ප්‍රාග්ධනයකි’. එකී සංකේතීය ප්‍රාග්ධනයට සමාජයේ සිවිල් වටිනාකමක් ලැබෙන බව සත්‍යයකි. එහෙත් මෙකී සංකේතීය ප්‍රාග්ධනය ඉල්ලා සමාජමාධ්‍යයේ මුරගෑ බොහෝ පිරිස් අතර විද්‍යාත්මක සමාජවාදයක් වෙනුවෙන් පෙනී සිටින අය ද සිටීම කනගාටුවට කාරණයකි.

පරමාදර්ශය වෙනුවට උගත්කම පමණක් අධි නිශ්චය වූ ජන සමාජයක උපාධි සහතිකය යනු තවත් එක් සංකේතීය වටිනාකමක් පමණක් බව අපි යළිත් ලියා තබමු.

කෙනකුට ආචාර්ය උපාධියක් ලබා ගැනීමට හැකි ක්‍රම තුනක් තිබේ.

පළමු වැන්න විධිමත් විශ්වවිද්‍යාලයකින්, විධිමත් පර්යේෂණ ක්‍රමවේදයක් ඔස්සේ නිශ්චිත කාලයක් තුළ ආචාර්ය උපාධියක් ලබා ගැනීමයි. ඒ සඳහා කෙනකුට මූලික උපාධියක් තිබිය යුතුය.

දෙවැන්න නම් විධිමත් සිවිල් සමාජයේ කෙනෙකුට ගෞරවනීය තනතුරක් ලෙස උසස් අධ්‍යාපන ආයතනයකින් ආචාර්ය උපාධියක් පිරිනැමීමයි. කලා ලෝකයේ හා සමාජයේ සුවිශේෂි අවධානයට ලක් වූ පුද්ගලයන්ට මෙවැනි ආචාර්ය උපාධි පිරිනමා ඇත.

තෙවැන්න නම් අටවාගත් විවිධ රාජ්‍ය නොවන සංවිධාන හෝ වෙනත් ආයතන විසින් පුද්ගලයන්ට ආචාර්ය උපාධි පිරිනැමීමයි. මෙය එක්තරා අන්දමක වෙ‍ෙළඳාම් ක්‍රියාවලියකි. මේවට අපි “මර්වින් සිල්වා පන්නයේ ආචාර්ය උපාධි” යැයි කියමු.

ශ්‍රී ලංකාවේ පුරවැසියකුට මහජන නියෝජිතයකු ලෙස පත්වීමට දේශපාලනික සුදුසුකම් අත්‍යවශ්‍ය යැයි කොතැනක හෝ සඳහන් නොවේ. එහෙත් කාර්යාල කාර්ය සහායක තනතුරකට වුවද සුදුසුකම් පරීක්ෂා කර බලන රටේ දේශපාලනඥයන්ට සුදුසුකම් නොමැති වීම ඉතිහාසය පුරා පැවති දේශපාලනික සංස්කෘතියේ අංගයක් බවට පත්ව තිබුණි.

එම නිසා පාර්ලිමේන්තුව රස්තියාදුකාර මඩුවක් බවට පත්විය. මේ හේතුවෙන් කුඩුකාරයන්, ගංජාකාරයන්, මිරිස් කුඩුකාරයන්, විවිධ සමාජ විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධවූවෝ පාර්ලිමේන්තුවට තේරී පත්වූවා පමණක් නොව ඇමැති තනතුරු ද දැරූහ. වරෙක මරණ දඬුවමට ලක්වූ අයෙක් ජනාධිපති සමාව ලබා පාර්ලිමේන්තුවට පැමිණියා පමණක් නොව නියෝජ්‍ය ඇමැතිකමක් ද දැරුවේය.

නාමල් රාජපක්ෂගේ නීතිඥ උපාධිය , යෝෂිත රාජපක්ෂගේ ආචාර්ය උපාධිය, හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ වෛද්‍යවරයා යැයි කියූ එලියන්ත වයිට්ගේ වෛද්‍ය උපාධිය, කොරෝනා සමයේ රටටම පැණි බෙදූ ධම්මික නමැති හොර වෙදාගේ ආයුර්වේද වෛද්‍ය සුදුසුකම් පරීක්ෂා නොකළ ජන සමාජය සහ මාධ්‍ය රන්වලගේ ආචාර්ය උපාධි සහතිකය ගැන බෙහෙවින් කලබල වූ බවක් දක්නට ලැබුණි.

පැන්ඩෝරා පේපර්ස්හි නම සඳහන් වූ දේශපාලනඥයන්ගේ සුජාතභාවය , බාල ඖෂධ මෙරටට ගෙන්වා රෝගී ජීවිත අමුඅමුවේ අවදානමට ලක් කළ දේශපාලනඥයන්ගේ දේශපාලනික සදාචාරය ගැන ප්‍රශ්න නොකළ සමාජයේ බොහෝ දෙනකු ආචාර්ය උපාධි සහතිකයක එල්ලී සිටීම තවත් එක් දේශපාලනික තක්කඩිකමක් මිස අන් කවරක් ද?

ජන සමාජයට වඩාත් හානිදායක වන්නේ ආචාර්ය උපාධි සහතිකය ඉදිරිපත් නොකිරීම ද නැතිනම් ඉහත සිද්ධීන්වල බලපෑමදැයි අපි යළිත් ප්‍රශ්න කරමු.

කෙසේ නමුත් ඉතා කෙටි කාලයක් තුළ බලයේ පවතින දේශපාලනය මේ තරම් ඍජු ලෙස ප්‍රශ්න කරන තරමට රටේ දේශපාලනික සංස්කෘතිය වෙනස්වීම පිළිබඳව අපට ඇත්තේ සතුටකි.

එහෙත් රාජ්‍ය දේපළ කුණුකොල්ලයට විකුණද්දී නිහඬව බලා සිටි, අසාර්ථක සංවර්ධන ව්‍යාපෘතිවලින් ජනතා මුදල් කොල්ලකද්දී නිහඬව බලා සිටි බොහෝ දේශපාලනඥයන් මේ නිසා සුජාතභාවයට පත්ව ඇත.

ආණ්ඩුව අනුගමනය කළේ රන්වල බිල්ලට දී ප්‍රශ්නය මඟහැර යෑමේ පැරණි පාලකයන් අනුගමනය කළ ක්‍රමවේදය නොවේ. ආණ්ඩු පක්ෂයේ පමණක් නොව විපක්ෂයේ දේශපාලකයන් ද ඉදිරිපත්කොට ඇති උපාධි, ආචාර්ය උපාධි, වෛද්‍ය පට්ටම්, අධි නීතිඥ පට්ටම් පිළිබඳව යළි සොයා බලන්නැයි අපි යෝජනා කරමු.

එවිට රූපවාහිනී කැමරා ඉදිරියේ කාඩ්බෝඩ් වීරයන් බවට පත් වූ බොහෝ දේශපාලකයන්ගේ ද නිරුවත හෙළි වනු ඇත.

සත්තකින්ම මෙම ගැටලුවේ දී සිදු වූයේ පොදු සමාජ ප්‍රශ්න යටපත් කරමින් මෙම ප්‍රශ්නය දඩමීමා කරගෙන අනවශ්‍ය දේශපාලනික චරිත කරළියට පැමිණ වීරයන් බවට පත්ව තිබීමයි.

මෙයට අපූරු උදාහරණයක් සමාජ මාධ්‍යයේ දක්නට ලැබුණි.

‘කුපාඩි රජ කළ රටක

උපාධි සැක කළ මිනිස්සු’

යනුවෙන් එහි සඳහන්ව තිබුණේය .

එහෙයින් පුද්ගලභාවයට වඩා සාමූහිකත්වය වටිනා බව ඔප්පු කරමින් රන්වල දුන් ආදර්ශය අපි යළිත් වරක් අගය කරමු. එය ඉකුත් මැතිවරණ දෙකකදී මෙරට ජනතාව දුන් ජනවරමේ දේශපාලනික දිශානතිය නිවැරදිව කියවා ගැනීමක්ම වනු ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT