Home » පදක්කම් දිනා කටුනායකට පැමිණි ජීවිතාරක්ෂක ක්‍රීඩකයින්

පදක්කම් දිනා කටුනායකට පැමිණි ජීවිතාරක්ෂක ක්‍රීඩකයින්

by chanaka
December 15, 2024 7:40 am 0 comment

පළමු ඉන්දු – ශ්‍රී ලංකා වෙරළ ජීවිතාරක්ෂක තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් 04 ක් , රිදී පදක්කම් 03 ක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගෙන ඊයේ (14) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

මෙම තරගාවලිය ඉන්දියාවේ ඔඩෙස්සා ප්‍රාන්තයේ පූරි වෙරළ තීරයේ දී ආජෙන්ටිනාව , ඕස්ට්‍රේලියාව සහ ඇමෙරිකාව යන ආරාධිත රටවල ද ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් ඉකුත් 10 දින සිට 13 දින දක්වා පවත්වා තිබුණි.

2032 වසරේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලියට ප්‍රථම වතාවට ජීවිතාරක්ෂක තරග ඉසව් ඇතුළත් කර ඇති අතර , ඊට අමතරව 2028 වසරේ මොරොක්කෝ රාජ්‍යයේ පැවැත්වීමට නියමිත ලෝක ජීවිතාරක්ෂක ශූරතා තරගාවලියට සහ 2025 වසරේ ජූනි මස එක්සත් රාජධානියේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියට අවශ්‍ය පෙර පුහුණුව ලබා ගැනීම සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එක්ව මෙම තරගාවලිය සංවිධාන කර තිබුණි.

එහිදී ගාල්ල සියලු සාන්තුවරයන්ගේ විද්‍යාලයේ යගම ටසින් වෙරළ කොඩි ඉසව්වෙන් ද , කොළඹ නාලන්දා විද්‍යාලයේ දිනුවර සිල්වා මීටර් 90 වෙරළ දිවීමේ ඉසව්වෙන් ද , කොළඹ ආනන්ද විද්‍යාලයේ සදූපම දෙව්ජිත් දිවීම – පිහිනීම – දිවීම ඉසව්වෙන් සහ කිලෝ මීටර් 01× 3 වෙරළ සහාය දිවීමේ ඉසව්වෙන් ගාල්ල මහින්ද විද්‍යාලයේ කාලිංග ඔදීෂ , කොළඹ නාලන්දා විද්‍යාලයේ පන්සිළු ජයමාන්න සහ ඇඹිලිපිටිය ථේරපුත්තාභය විද්‍යාලයේ ලිසත් වීරසිංහ රන් පදක්කම් දිනා ගැනීමට සමත් විය.

මීට අමතරව ඇඹිලිපිටිය ථේරපුත්තාභය විද්‍යාලයේ ලිසත් වීරසිංහ මීටර් 90 වෙරළ දිවීමේ ඉසව්වෙන් ද , කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයේ සපුමල් පෙරේරා දිවීම – පිහිනීම – දිවීම ඉසව්වෙවෙන ද , කොළඹ ආනන්ද විද්‍යාලයේ සදූපම දෙව්ජිත් කිලෝ මීටර් 02 පිහිනීම ඉසව්වෙන් ද රිදී පදක්කම් දිනා ගෙන තිබුණි.

එසේම ගාල්ල මහින්ද විද්‍යාලයේ කාලිංග ඔදීෂ මීටර් 90 වෙරළ දිවීම ඉසව්වෙන්ද , ශ්‍රී ලංකා පොලිසියේ මනෝජ් කුමාර වෙරළ කොඩි ඉසව්වෙන් ලෝකඩ පදක්කම් ද දිනා ගෙන තිබේ.

ඔවුන් ඊයේ රාත්‍රී 07.47 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ.- 1173 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි අතර, ඔවුන් පිළිගැනීම සඳහා ක්‍රීඩකයින්ගේ දෙමාපියන් ඇතුළු නෑදෑ හිතවතුන් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT