Monday, April 21, 2025
Home » මහා පරිමාණ විදෙස් රැකියා ජාවාරමක් ගාල්ලෙන් එළියට

මහා පරිමාණ විදෙස් රැකියා ජාවාරමක් ගාල්ලෙන් එළියට

by chanaka
December 15, 2024 7:29 am 0 comment

ගාල්ල මහ මෝදර විදේශ සේවා නියුක්ති කාර්යාංශ ශාඛාවේම කොටසක් බව හඟවා එහි පහත මාලයේ පවත්වාගෙන ගිය කාර්යාලයක් හරහා විදේශ රැකියා ලබා දෙන බව පවසමින් මහා පරිමාණ වංචාවක් සිදුව ඇතැයි වාර්තා වේ.

ගාල්ල විදේශ සේවා නියුක්ති කාර්යාංශ ශාඛාවේ නාම පුවරුව සවි කළ ගොඩනැඟිල්ලේ පහත මාලය කාර්යාංශයේම කොටසක් ලෙස පෙනෙන ලෙස එම නාම පුවරුව යටතේම පවත්වාගෙන ගොස් ඇති මෙම කාර්යාලයෙන් විදේශ රැකියා ලබා දෙන බවට සිදු කළ දැනුම්වත් කිරීම් නිසා විදේශ රැකියා අපේක්ෂාවෙන් විශාල පිරිසක් පැමිණ තිබේ.

කාර්යාලයට පැමිණි පසු ඔවුන්ට විදේශ රැකියා ඒජන්සි දෙකක් නම් කර ඒවාට මුදල් ගෙවා අදාළ කටයුතු කර ගන්නා ලෙස එහි සිටි නිලධාරීන් විසින් දැනුම්වත් කර ඇත. ඒ අනුව රුමේනියාවේ රැකියා පිණිස පමණක් එලෙස පුද්ගලයන් 258 දෙනකු රුපියල් 175,000ක් බැගින් අදාළ ඒජන්සි වෙත මුදල් ගෙවා ඇතැයි වාර්තා වේ. එසේම කඩිනමින් එතෙර යැවීම පිණිස රුපියල් ලක්ෂ 4ක් පමණ දක්වා මුදල් ගෙවා ඇති බවද වාර්තා වේ.

ෙඑයින් කිසිවකු විදේශ රැකියා පිණිස යොමු කර නොමැති අතර ඔවුන් වරින් වර පැමිණ සිදු කළ විරෝධතා මැද ඇතැම් අයට රුපියල් ලක්ෂයක මුදලක් පමණක් ගෙවා ඇත. මේ සම්බන්ධයෙන් මේ වන විට විදේශ සේවා නියුක්ති කාර්යාංශයටද පැමිණිලි කර ඇත.

මීට අමතරව තවත් රටවල් රැසක රැකියා ලබා දෙන බව පවසා එලෙස ඒජන්සි වෙත යොමු කර තිබේ.

මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට හිටපු විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සම්බන්ධ කර ගැනීමට කතා කළ නමුත් ඔහුගේ දුරකතනයට පිලිතුරු සැපයූ පෞද්ගලික සහකාර සංඛ බණ්ඩාර නම් අය පැවසුවේ මනූෂ නානායක්කාර මහතා මේ අවස්ථාවේදී මාධ්‍යවලට පිළිතුරු ලබා නොදෙන බවයි.

කෙසේ වෙතත් මේ සිදුවීම සම්බන්ධයෙන් කරුණු දැක්වූ ඔහු පැවසුවේ අදාළ ඇමැතිවරයාගේ අදාළ කාර්යාලය කාර්යාංශ ගොඩනැගිලිලේ වෙනත් නාම පුවරුවකින් තොරව පවත්වාගෙන ගිය බවත් ඒ වෙනුවෙන් ඇමැතිවරයා විසින් මුදල් ගෙවූ බවයි. එසේම අදාළ සිදුවීම සම්බන්ධයෙන් මැදිහත්ව රුමේනියාවට යාමට මුදල් අය කළ රැකියා ඒජන්සි ආයතනවලින් කොටසක්ද මේ වන විට ආපසු රැගෙන දීමට කටයුතු කළ බව කීය.

මූලාශ්‍ර උපුටා ගැනීම – සිළුමිණ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT