Home » ජාතික ඇසුරුම් මධ්‍යස්ථානයෙන් පළතුරු සහ එළවළු සඳහා නව්‍ය ඇසුරුම් විසඳුම්

ජාතික ඇසුරුම් මධ්‍යස්ථානයෙන් පළතුරු සහ එළවළු සඳහා නව්‍ය ඇසුරුම් විසඳුම්

by chanaka
December 14, 2024 8:30 am 0 comment

අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) යටතේ පිහිටුවා ඇති ජාතික ඇසුරුම්කරණ මධ්‍යස්ථානය (NPC) විසින් “අපනයනකරුවන් සහ අපනයන හැකියාව ඇති ව්‍යවසායකයන් සඳහා පළතුරු හා එළවළු ආශ්‍රිත ඇසුරුම්කරණ විසඳුම්” පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා අපනයන සංවර්ධන මණ්ඩලයේදී පැවැත්විණි.

අපනයනකරුවන් සහ විභව අපනයනකරුවන් 70 දෙනෙකුගේ පමණ සහභාගීත්වයෙන් ඇසුරුම්කරණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් සහ ජාතික ශාක නිරෝධායන සේවාවේ විශේෂඥයින්ගේ සම්පත්දායකත්වයෙන් මෙම වැඩමුළුව පවත්වන ලදී.

වැඩමුළුව පැවැත්වීමේ එක් අරමුණක් වන්නේ නව්‍ය ඇසුරුම්කරණ විසඳුම් හරහා පළතුරු සහ එළවළු වල පසු අස්වනු හානි අවම කිරීම මඟින් ආර්ථිකයට ප්‍රතිලාභ ලබා දෙමින් අපනයන නිෂ්පාදනවල වටිනාකම ඉහළ නැංවීමයි.

ශ්‍රී ලංකාවේ පසු අස්වනු හානිය සැලකිය යුතු මට්ටමක ඇති අතර එය එළවළුවලින් 20% – 30% සහ පලතුරුවලින් 15% – 20% අතර ප්‍රමාණයකට බලපානු ලබන අතර ප්‍රමාණවත් පරිදි ඇසුරුම් නොකිරීම මෙම පසු අස්වනු හානියට ප්‍රධාන හේතුවක් ලෙස හඳුනාගෙන ඇත.

එම පුහුණු වැඩසටහනනේ දී ඇසුරුම් සංකල්ප, ඇසුරුම් ද්‍රව්‍ය, ඇසුරුම් තාක්ෂණය, ඇසුරුම්කරණ සැලසුම් සහ පලතුරු සහ එළවළු ඇසුරුම් සඳහා ග්‍රැෆික් නිර්මාණය සහ ශාක නිරෝධායන සහතිකයේ වැදගත්කම සහ එය ලබා ගැනීමේ ක්‍රියාවලිය වැනි ප්‍රධාන මාතෘකා සාකච්ඡා විය. නිසි ඇසුරුම්කරණයේ වැදගත්කම, වඩාත් ඵලදායි ඇසුරුම් ක්‍රම තෝරා ගැනීම සහ නිෂ්පාදන පිරිවැය වැළැක්වීම සඳහා නිවැරදි ද්‍රව්‍ය තෝරා ගැනීම ආදිය වැඩමුළුව මඟින් ආවරණය විය.

ඇසුරුම් උපදේශක ඩබ්ලිව්. අභය සේනාවිරත්න මහතා, ප්‍රධාන විධායක නිලධාරී දුලේෂ් ප්‍රනාන්දු මහතා (ඩිසයින් 83 ආයතනය) සහ ජාතික ශාක නිරෝධායන සේවයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ එස්.ඩී.කමනි ප්‍රියදර්ශනී මහත්මිය යන අය විසින් දේශන පවත්වන ලදී. තවදුරටත් මවුන්ට් පැක්ස් ආයතනය විසින් ඇසුරුම්කරණයේ ප්‍රායෝගික හැසිරවීම පිළිබඳව සහභාගීවන්නන් දැනුවත් කෙරිණි. වැඩසටහන අවසානයේදී, ලබා දෙන ඇගයීම් පත්‍රිකාවන්ට අනුව මෙම වැඩසටහන ඔස්සේ සහභාගීවන්නන්ගේ දැනුම හා ධාරිතාව වැඩිදියුණු කිරීම සඳහා බෙහෙවින් ප්‍රයෝජනවත් වී ඇත.

අපනයන සංවර්ධන මණ්ඩලය යටතේ පවතින ජාතික ඇසුරුම් මධ්‍යස්ථානය (NPC) ස්ථාපනය කරන ලද්දේ ඇසුරුම් කර්මාන්තයේ ප්‍රවර්ධනය සහ සංවර්ධනය සඳහා අවශ්‍ය මඟපෙන්වීම ලබා දීමේ අරමුණෙනි.


අපනයනකරුවන්, ඇසුරුම් කර්මාන්තයේ නියැලෙන්නන්, නිෂ්පාදකයින්, නිර්මාණකරුවන්, විභව ව්‍යවසායකයින්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්, කාන්තා ව්‍යවසායකයින්, වෙනත් මේ ආශ්‍රිත රාජ්‍ය ආයතන, විශ්වවිද්‍යාල සහ පාසල් ශිෂ්‍යයන්, පර්යේෂණ සහ සංවර්ධන ආයතන, සැපයුම් සේවා සපයන්නන් යන සියලුම පාර්ශ්වකරුවන්ගේ ප්‍රයෝජනය උදෙසා ඇසුරුම්කරණ සංවර්ධන විෂයට අදාළ ව්‍යාපෘති සඳහා ජාතික කේන්ද්‍රස්ථානය ලෙස, ජාතික ඇසුරුම් මධ්‍යස්ථානය (NPC) ක්‍රියා කරයි. රාජ්‍ය ආයතන සහ අනෙකුත් හවුල්කරුවන් සමඟ සහයෝගීතාවය වර්ධනය කිරීම මගින් ජාතික ඇසුරුම් මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ ඇසුරුම් කර්මාන්තය ප්‍රගමනය කිරීමට සහ කෘෂිකාර්මික අපනයන අංශයේ තිරසාර වර්ධනයට සහාය වීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT