Tuesday, April 15, 2025
Home » සූර්පිට බසය පැදවූ ලංගම රියැදුරු අත්අඩංගුවට

සූර්පිට බසය පැදවූ ලංගම රියැදුරු අත්අඩංගුවට

by mahesh
December 13, 2024 1:00 am 0 comment

අසේල කුරුළුවංශ

මත්පැන් පානය කර තෙල්දෙණියේ සිට මහනුවර දක්වා බස් රථයක් ධාවනය කරමින් සිටි තෙල්දෙණිය ලංගම ඩිපෝවේ රියැදුරකු පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ රියැදුරා තෙල්දෙණිය නගරයේදී පෞද්ගලික බස් රථයක පැති කණ්ණාඩියේ වද්දා අනතුරක් සිදු කර බස් රථය නොනවත්වා ධාවනය කර ඇත. එම අවස්ථාවේ පෞද්ගලික බස් රථයේ රියැදුරු හා කොන්දොස්තරවරයා ඒ සම්බන්ධව තෙල්දෙණිය පොලීසිය දැනුවත් කර තිබේ.

එම පැමිණිල්ලට අනුව ලංගම බස් රථය හඹා ගොස් සිදු කළ පරීක්ෂාවේ දී රියැදුරු බීමතින් සිටින බවට සැකයක් මතුව ඇත. බස් රථයේ සිටි මගීන් බස්සවා බස් රථය පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් රියැදුරු වෛද්‍යවරයෙකු වෙත යොමුකර සිදු කළ පරීක්ෂාවේ දී ඔහු බීමතින් සිටින බව තහවුරු වී තිබේ.

මෙම රියැදුරු මීට පෙර ද අවස්ථා දෙකක දී මත්පැන් පානය කර බස් රථය ධාවනය කිරීමේ චෝදනාවන්ට ලක්ව තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා වැඩ තහනම් කර තිබිය දී අභියාචනයක් සැලකිල්ලට ගෙන යළි සේවය ලබා දුන් බවත් ශ්‍රී ලංගම මහනුවර ප්‍රාදේශිකයේ කළමනාකාර ප්‍රසන්න දෙල්අංග මහතා කීය. පෙර වැරදිද තිබිය දී යළිත් වරක් ඔහු මේ ආකාරයෙන් මත්පැන් පානය කර බස් රථය ධාවනය කර පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙන බවත් ඔහු රියදුරු සංචිතයට යොමුකර ලංගම මඟින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බවත් ඒ මහතා පැවසුවේය. තෙල්දෙණිය පොලීසිය මඟින් අත්අඩංගුවට ගත් ලංගම රියැදුරු පොලිස් ඇප මත මුදාහරිමින් ඔහුට ඉදිරියේ දැනුම් දෙන දිනයක අධිකරණයේ පෙනී සිටින ලෙස පොලීසිය දැනුම් දී තිබේ. තෙල්දෙණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ රොෂාන් අමරසිංහ මහතාගේ උපදෙස් මත තෙල්දෙණිය පොලීසියේ රථවාහන අංශය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT