මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ නවතම පරිච්ඡේදයක් සනිටුහන් කරමින් කොටස් මිල ගණන් වාර්තාගත ලෙස ඉහළ නංවා ගැනීමට කොළඹ කොටස් වෙළෙඳපොළ සමත්ව තිබේ.
ඒ අනුව කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය ඊයේ (12) දිනයේදී ඉතිහාසයේ ඉහළම සංධිස්ථානයකට පැමිණෙමින් ඒකක 14,035.81ක අගයක් ගෙන තිබෙන අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 150.72ක වර්ධනයක් බවත් එය සියයට 1.09ක ඉහළ යෑමක් බවත් කොළඹ කොටස් වෙළෙඳපොළ පවසයි.
මේ අතර S&P SL20 දර්ශකය ඒකක 43.17කින් ඉහළ ගොස් ඒකක 4,186.46ක් ලෙසින් දිනය අවසානයේදී වාර්තා විය. එය පෙර දිනයට සාපේක්ෂව සියයට 1.04ක ඉහළ යෑමකි. ඒ අනුව දෛනික ගනුදෙනු අවසානයේදී රුපියල් බිලියන 7.35ක කැපී පෙනෙන ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීම ද විශේෂත්වයකි.