ගම්පහ ඉඹුල්ගොඩ පිහිටි නිවාඩු නිකේතනයක කාමරයක නැවතී සිටි පුද්ගලයකු මිය යාම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාව මුදාහැරීමට යක්කල පොලීසිය පියවර ගෙන තිබේ.
ගම්පහ රෝහලේදී සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී මරණය සිදුව ඇත්තේ හෘදයාබාධයකින් බව තහවුරු වීම හේතුවෙන් ඇයව මුදාහැරිය බව යක්කල පොලීසියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මියගොස් ඇත්තේ කඩවත පදිංචි 61 හැවිරිදි වියේ පසුවන්නෙකි. කාන්තාව 60 හැවිරිදි වියැති දික්වැල්ලේ පදිංචිකාරියක බව පොලීසිය කියයි. මෙම යුවළ පසුගිය 10 වෙනිදා මෙම නිවාඩු නිකේතනයේ කාමරයක් වෙන් කරගෙන නවාතැන් ගෙන සිට ඇති බව පොලීසිය කියයි. පිරිමි පුද්ගලයා මියගොස් ඇත්තේ එසේ දෙදෙනා එම කාමරයේ රැඳී සිටියදී බව ද පොලීසිය සඳහන් කළේය.