Monday, April 21, 2025
Home » ඇතැමුන් විවිධ ප්‍රචාර ගෙන ගියාට රටේ ඉන්ධන හිඟයක් නෑ
ඇති තරම් තෙල් තොග සංස්ථාව සතුයි:

ඇතැමුන් විවිධ ප්‍රචාර ගෙන ගියාට රටේ ඉන්ධන හිඟයක් නෑ

ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා

by mahesh
December 13, 2024 1:00 am 0 comment

මහින්ද අලුත්ගෙදර

ඇතැමුන් විවිධ ප්‍රචාර ගෙන ගියාට රටේ කිසිම ඉන්ධන හිඟයක් නැතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා අවධාරණය කරයි. ජනතාවගේ තෙල් අවශ්‍යතාව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සම්පූර්ණ කරන බව පවසන ඒ මහතා සංස්ථාව සතුව ප්‍රමාණවත් තෙල් තොග තිබෙන බව ද ලබන වසරේ අප්‍රේල් දක්වා තෙල් ඇණවුම් කර තිබෙන බවද පෙන්වා දෙයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී ඊයේ (12) පස්වරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමිනි. ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා මේ මාධ්‍ය හමුව පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා මෙසේද පැවසීය.

Òශ්‍රී ලංකාවට පැමිණි තෙල් නැවක් හරවා යවා තිබෙනවා. ඒ නිසා තෙල් හිඟයක් ඇති වෙන්න පුළුවන් කියා ප්‍රචාරයක් තිබෙනවා. තෙල් නැවක් හරවා යවා නැහැ. යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම තෙල් නැවක් ගෙනාවා. ඒ නැව ගොඩබෑමකින් තොරව නැවත රැගෙන ගොස් තිබෙනවා. එයින් රටට කිසිම බලපෑමක් සිදුවන්නේ නැහැ. ඒක ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ගෙනාව නැවක් නොවෙයි. පසුගිය කාලයේ සමාගම් තුනක් ලංකාවට ආවා. ඒ අයට ලබාදුන් පිරවුම්හල් හරහා බෙදාහැරීම කරනවා. මේ නැව ඒ සමාගමේ අභ්‍යන්තර කරුණක්. පැහැදිලිවම රටේ ජනතාවගේ තෙල් අවශ්‍යතාව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සම්පූර්ණ කරනවා. අපි සතුව ප්‍රමාණවත් තෙල් තොග තිබෙනවා. ලබන වසරේ අප්‍රේල් දක්වා තෙල් ඇණවුම් කර තිබෙනවා. අපි දිගුකාලීන ටෙන්ඩර් යටතේ ගන්නවා. ඕනෑම අවස්ථාවකට මුහුණ දෙන්න අපට පුළුවන්. ඒ නිසා රටේ කිසිම අවස්ථාවක තෙල් හිඟයක් ඇති වන්නේ නැහැ. කුමන සමාගම තෙල් නොගෙනාවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජනතාවට තෙල් ලබා දෙන්න පියවර ගෙන තිබෙනවා.

යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම රැගෙන ආ නැව සතුව පෙට්‍රල් මෙට්‍රික් ටොන් 15,000ක් සහ ඩීසල් මෙට්‍රික් ටොන් 15,000ක් තිබුණා. එම සමාගමට අවශ්‍ය තරම් තෙල් තිබෙනවා. ඒ අයගේ පිරවුම්හල් සඳහා තෙල් බෙදන්න ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා. අඛණ්ඩව තෙල් සැපයුම වෙනුවෙන් අපි වගකීම භාර ගන්නවා. අපි ඇණවුම් කර තිබෙන තෙල් ප්‍රමාණය අනුව ඒකට කිසිම බාධාවක් නැහැ. ඒ අයගේ තෙල් සංචිත අවසන් වූ විගස පිරවුම්හල් සඳහා අපි තෙල් බෙදා දෙනවා. පසුගිය කාලයේ විවිධ ගැටලු ආවා. තෙල් පෝලිම් ආවා. එය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ගැටලුවක් නිසා නොවෙයි. එය වුණේ ඩොලර් නැතිකමින්. එවිට ඊට විසඳුමක් ලෙස හිටපු රජය වෙනත් සමාගම්වලට ලංකාවට පැමිණ ඉන්ධන බෙදා හරින්න ඉඩ දුන්නා. ඒ අනුව සමාගම් තුනකට පිරවුම්හල් 150 බැගින් ලබාදුන්නා. එම සමාගම් කැඳවන්නේ ඩොලර් ප්‍රශ්නයට නම් අන්තිම කැබිනට් පත්‍රිකාව ඩොලර් ප්‍රශ්නය අවසන් කියා දැම්මා.

රුපියල් බිලියන 2432ක් රාජ්‍ය බැංකු දෙකකට තෙල් සංස්ථාව ණය වී තිබුණා. මේ සංකීර්ණ තත්ත්වය අවසන් කරන්න සම්පූර්ණ ණය තත්ත්වය රජය භාර ගත්තා. රුපියල් බිලියන 884ක ණයක් තෙල් සංස්ථාව තිබෙනවා කියා තිබුණා. එය සම්පූර්ණයෙන්ම රජයට ගත්තා. එයින් පසුව සංස්ථාව කටයුතු කරගෙන ගියා. ඉදිරියේ දී මහජන උපයෝගීතා කොමිසමට මේ ආයතනයේ නියාමනය භාරදෙන්න පියවර ගන්නවා. ඒ සම්බන්ධයෙන් වන නීතිමය කටයුතු මේ වනවිට සිදුකරගෙන යනවාÓ යැයි පැවසීය. ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය, ඛනිජ තෙල් නීතිගත සංසථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එස්.කේ.ජේ. බණ්ඩාර මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT