අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩසටහන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ඔරොත්තු දීමේ හැකියාව සඳහා අත්‍යවශ්‍ය දෙයක් ලෙස සලකන බවත් තිරසර වර්ධනයක් ඇති කිරීමට සහ ජීවනෝපායන් වැඩිදියුණු කිරීමට අඛණ්ඩව දිරිමත් කරන බවත් අමෙරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කරයි. දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතාගේ ශ්‍රී ලංකා සංචාරයෙන් අනතුරුව අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කර තිබේ. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩසටහනේ වැදගත්කම පිළිබඳව ද ඒ මහතා මෙහිදී අදහස් පළකර තිබෙන බව එක්සත් ජනපද තානාපති කාර්යාලය සඳහන් කරයි.
ආර්ථික ප්‍රකෘතිය, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ කලාපීය ආරක්ෂාව ඇතුළු ප්‍රමුඛතා ඉදිරියට ගෙන යෑමේ දී එක්සත් ජනපද – ශ්‍රී ලංකා හවුල්කාරීත්වයේ වැදගත්කම ලූ මහතා අවධාරණය කළ බව එක්සත් ජනපද තානාපති කාර්යාලය සඳහන් කරයි. අන්තර්ජාතික සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජ්‍ය සහකාර පරිපාලක අංජලී කෞර් සහ භාණ්ඩාගාර නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කප්‍රෝත් ද සහභාගී වූ එම හමුවේ දී, දූෂණ විරෝධී, වගවීම සහ තිරසර ආර්ථික වර්ධනය කෙරෙහි අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය සඳහා එක්සත් ජනපදයේ සහාය යළි තහවුරු කළ බවද තානාපති කාර්යාලය පවසයි.
දූෂණය, ආර්ථික වර්ධනය, ආරක්ෂාව සහ මහජන විශ්වාසය අඩපණ කරන අතර පුරවැසියන්ගේ අවශ්‍යතා සම්පූර්ණයෙන් ආමන්ත්‍රණය කිරීමට ඒ අනුව රජයන්ට නොහැකි වන බවද අමෙරිකානු තානාපති කාර්යාලය පෙන්වා දෙයි.
“එක්සත් ජනපදය ගැළපෙන වැඩසටහන් මාලාවක් හරහා ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී ප්‍රයත්නයන්ට සහාය වීමට කැපවී සිටින්නේ එබැවිනි. නීතිමය රාමු සහ බලාත්මක කිරීමේ යන්ත්‍රණ ශක්තිමත් කිරීම සඳහා තාක්ෂණික සහාය, විමර්ශකයන් සහ නඩු පවරන්නන් සඳහා පුහුණු වැඩසටහන් සහ විනිවිදභාවය සහ වගවීම වැඩිදියුණු කිරීම සඳහා රාජ්‍ය ආයතනවල ධාරිතා ගොඩනැගීම ඇතුළත් වෙනවා.මීට අමතරව යහපාලනය පිළිබඳ දැනුවත් කිරීම සහ වගවීම ප්‍රවර්ධනය කිරීම සඳහා සිවිල් සමාජය දරන ප්‍රයත්නයන්ට අපි සහාය දෙනවා.
විශ්වාසය ගොඩනැඟීම,මහජන සම්පත් වගකීමෙන් පරිහරණය කිරීම දිරිගැන්වීම සහ සියලු ශ්‍රී ලාංකිකයන් සඳහා වඩාත් විනිවිදභාවයෙන් යුක්ති සහගත සහ සාධාරණ පරිසරයක් සඳහා දායකවීම මේ වැඩසටහන්වල අරමුණයි”යනුවෙන් දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා ප්‍රකාශ කර තිබේ.
එක්සත් ජනපද ප්‍රතිපත්තිය ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථික වර්ධනය සහ කලාපීය ආරක්ෂාව සඳහා දිගුකාලීන කැපවීම් පිළිබිඹු කරන බවත්, මේ මූලධර්ම ශ්‍රී ලංකාව සමඟ ඔවුන්ගේ හවුල්කාරීත්වයට මඟ පෙන්වන අතර ඔවුන්ගේ හවුල් ප්‍රමුඛතා ඉදිරියට ගෙන යෑම කෙරෙහි අවධානය යොමු කරන බවත් එක්සත් ජනපද තානාපති කාර්යාලය කියයි.