තරගකාරී අධ්‍යාපන රටාව දරුවන්ගේ මනසට වෙහෙසකරය. සෞන්දර්ය, සාහිත්‍යය මෙන්ම රසවින්දනය ද පරිපූර්ණ අධ්‍යාපන ක්‍රමයක මූලික පදනම සකසයි. එකී මුඛ්‍ය අරමුණ සාක්ෂාත් කරගනු වස්, නුගේගොඩ සුජාතා විද්‍යාලයීය ප්‍රාථමික අංශය විසින් වාර්ෂිකව පවත්වනු ලබන “Sparkling Sujathians – 2024” විවිධ ප්‍රසංගය මෙවර කොළඹ 07, නෙලුම් පොකුණ රඟහලේ දී එළිදක්වනු ලැබීය.
තුර්කි රාජ්‍යයේ තානාපති, බුද්ධ ශාසන සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සහකාර ලේකම් සුජීවා පල්ලියගුරුගේ, කලා කීර්ති රවිබන්දු විද්‍යාපති, මාධ්‍යවේදිනී ඔමායා කෝවිලගොඩගේ යන මහත්ම මහත්මීන් ආරාධිත අමුත්තෝ ලෙස මෙම උලෙළට සහභාගි වූහ.
ප්‍රාථමික අංශයේ සියලුම දියණිවරුන් සහභාගි වුණු මෙම ප්‍රසංගය සංස්කෘතිකාංග රැසකින් පරිපූර්ණ විය. සාම්ප්‍රදායික මෙන්ම බටහිර නර්තනාංග ද, නාට්‍යාංග ද ඇතුළත් මෙම ප්‍රසංගය දියණිවරුන් 1100කගේ ප්‍රතිභා ප්‍රභාවෙන් ආලෝකවත් විය. මෙය වූ කලී විද්‍යාලයීය කළමනාකාරීත්වයෙන් ලැබුණු සහයෝගයෙන් හා ප්‍රාථමික අංශයේ සියලුම ගුරු මහත්මීන්ගේ අප්‍රතිහත ධෛර්යය සහ කැපවීමේ මහඟු ප්‍රතිඵලයකි.
සුජාතාවියන් විසින් කරළියේ තබනු ලැබූ පාදනූපා තාල රඟ, හෙට රසවින්දනාත්මක මානවිකාවන් ලොවට දායාද කිරීමේ මූලික පියවරක් වනු නොඅනුමානය. මෙම උත්කර්ෂවත් මොහොත සාර්ථක අන්දමින් පැවැත්වීමට උරදුන් සියලු දෙනාහට සුබාශිංසන පිරිනැමේ.