Home » සරත් වීරසේකර මූලික අයිතිවාසිකම් කැඩුවැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
අසාද් සාලි අත්අඩංගුවට ගැනීම

සරත් වීරසේකර මූලික අයිතිවාසිකම් කැඩුවැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

රු.75,000ක් වන්දි ගෙවන්න රජයට නියෝග

by mahesh
December 13, 2024 1:00 am 0 comment

නෙල්කා මැදගෙදර

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා 2021 වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම මඟින් හිටපු මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ වෙනුවෙන් ඔහු වෙත රුපියල් 75,000ක වන්දි මුදලක් ගෙවන ලෙස රජයට ඊයේ (12) නියම කළේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වීම මඟින් වාර්ගික සුහදත්වයට හානි කළ බවට චෝදනා කරමින් තමන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට එරෙහිව බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගෙන අවසන් කිරීමෙන් අනතුරුව එහි තීන්දුව ප්‍රකාශ කරමින් මෙම නියෝගය කරන ලදි.

ගාමිණී අමරසේකර, මහින්ද සමයවර්ධන සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් මෙම තීන්දුව ප්‍රකාශ කරන ලදි.

මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටි එවක මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවක අධ්‍යක්‍ෂ නිශාන්ත සොයිසා සහ එහි ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත පයාගල යන අය විසින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බව එම තීන්දුවෙහි සඳහන් වේ. එම වගඋත්තරකරුවන් විසින් අත්තනෝමතික ආකාරයෙන් ක්‍රියා කර ඇති අතර එමඟින් පෙත්සම්කාර අසාද් සාලි මහතාට සිදු වූ අපහසුතාව සහ ඔහුට සිදු කළ හානිය වෙනුවෙන් රජය මඟින් වන්දි මුදලක් අසාද් සාලි මහතාට ගෙවිය යුතු බවට විනිසුරු මඬුල්ල විසින් තීරණය කර තිබේ. පෙත්සම්කාර අසාද් සාලි මහතා විසින් සිදු කළ ප්‍රකාශවලින් ආගමික සංහිඳියාව උල්ලංඝනය වූ බවට පොලීසිය මඟින් එල්ල කරන චෝදනා පිළිගත නොහැකි බව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේය. ද්වේෂසහගත ආකාරයෙන් ක්‍රියා කරමින් මෙම පෙත්සම්කරු රඳවා ගැනීම සඳහා රැඳවුම් නියෝගය ලබා ගැනීමට වගඋත්තරකරුවන් කටයුතු කර ඇති අතර එහිදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදනයන්ට පටහැනි ලෙස කටයුතු කර ඇති බව විවෘත අධිකරණය හමුවේ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීමට ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ රැඳවුම් නියෝගය ලබාගත් ආකාරය පිළිබඳ සාධාරණ කරුණු ඉදිරිපත් කිරීමට වගඋත්තරකරුවන් අපොහොසත් වී ඇති බවත් එම තීන්දුවෙහි සඳහන් වේ. ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා මහතා සහ නීතිඥ මෛත්‍රී ගුණරත්න සහ නීතිඥ කීර්ති තිලකරත්න යන මහත්වරු පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටියහ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT