අනුරාධපුර – ත්‍රිකුණාමලය ඒ 12 මාර්ගයේ මිහින්තලේ පොලිස් වසමේ පුංචිකුලම හන්දිය ආසන්නයේදී අද ( 11) සිදුවු රිය අනතුරකින් තරුණයකු ජීවිතක්ෂයට පත්ව ඇති බව මිහින්තලේ පොලිසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මිහින්තලය කම්මලක්කුලම ප්‍රදේශයේ පදිංචිව සිටි ජේ. මධුක සංගීත් ජයසුන්දර නමැති 27 හැවිරිදි අවිවාහකයෙකි.
අනතුරින් මියගිය තරුණයා ලබන මසදී විවාහ වීමට සිටි අයෙකු වන අතර ඔහු ලංකාවේ සුපිරි වෙළඳ සැල් ජාලයක අනුරාධපුර සල්ගාදු ක්‍රීඩා පිටිය ඉදිරිපිට ශාඛාවේ සේවයේ නිරතව සිටි අයෙකි.
මිහින්තලේ දෙස සිට අනුරාධපුර දෙසට යතුරු පැදියකින් ගමන් කරමින් සිටි මරණකරු, යතුරු පැදියෙන් ඇද වැටී ඇති බව පරීක්ෂණ සිදු කරන පොලිසිය කියයි.
එම අවස්ථාවේදී අනුරාධපුර දෙස සිට මිහින්තලය දෙසට සුඛෝපභෝගී ජීප් රථයක් ගමන් කර ඇති අතර, බරපතල තුවාල ලැබූ මරණකරු එම රථයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් ඇති බවද පොලිසිය සඳහන් කළේය.
යතුරු පැදියෙන් ඇද වැටුණු මරණකරු එම ජීප් රථයේ ගැටුණාද යන්න අනාවරණය කර ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය කියයි.
මිහින්තලේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරි රංජිත් මහතාගේ උපදෙස් මත රථ වාහන අංශ නිලධාරීහු කණ්ඩායමක් අනතුර සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන මෙහෙයවති.