බක්කිඇල්ල පොලීසියේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් මංගලගම කොහොඹගස්තලාවේ පිහිටි නිවෙසකට කඩාවැදී දේපොළවලට හානි කිරීමක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ එවකට මහඔය පොලීසියේ සේවයේ නිරතව සිටි පොලිස් නිලධාරීන් සිවුදෙනකුට එරෙහිව වසර 19ක් පුරාවට විභාග වූ නඩුවක තීන්දුව අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයේදී පූර්වගාමී මහේස්ත්‍රාත් ලුෂාකා කුමාරි ධර්මකීර්ති මහත්මිය විසින් පෙරේදා (09) ලබා දෙමින් එම පොලිස් නිලධාරීන්ගෙන් තිදෙනකු වරදකරුවන් කරමින් දඩ නියම කළාය. මෙසේ වරදකරුවන් කරනු ලැබුවේ 01, 02 හා 04 යන චුදිතයන් වන එකල උප සේවා පොලිස් කොස්තාපල්වරයකු ලෙස සේවයේ නිරතව සිටි මේ වන විට උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස උසස්වීම් ලබා බදුල්ල පොලිස් ස්ථානයේ සේවයේ නිරත ඒ.ඒ. මහින්දපාල, පොලිස් සැරයන්වරයකු ලෙස සේවයේ නිරතව සිට මේ වන විට පොලිස් සේවයේ නැති බී.එස්. ජයසිංහ, පොලිස් කොස්තාපල් රියැදුරකු ලෙස සේවයේ නිරතව සිට මේ වන විට පොලිස් සේවයේ නැති ජී.ඒ. පාලිත යන අය බව බක්කිඇල්ල පොලීසිය සඳහන් කළේය.
මෙම සිදුවීමට අදාළ තෙවැනි චුදිතයා වන පොලිස් සැරයන් ටී.එම්. අනුරසිරි මේ වන විට මියගොස් ඇති බව ද පොලීසිය කියයි.
නිවෙසකට අයුතු ඇතුළු වීම, බක්කිඇල්ල පොලීසියේ නිලධාරීන් ලෙස පෙනී සිටීම, අනර්ථය, සාපරාධී බිය ගැන්වීම, අයුතු ජනරාශියක සාමාජිකයන් වීම යන චෝදනා 05 සහ විකල්ප චෝදනා 04ක් වශයෙන් චෝදනා 09ක් මෙම චුදිතයන්ට එරෙහිව ගොනු කර තිබුණු බව ද පොලීසිය සඳහන් කළේය.
මෙයින් චෝදනා 06කට එක් අයකුට රුපියල් 1500 බැගින්ද චෝදනා 03කට රුපියල් 1000 බැගින්ද දඩ නියම කළ මහේස්ත්‍රාත්වරිය එම දඩ මුදල් නොගෙවන්නේ නම් මාස තුන බැගින් වූ ලිහිල් සිරදඬුවමක් ද නියම කළාය.
මෙම සිදුවීම වී ඇත්තේ 2005 වසරේ පෙබරවාරි 13 වැනිදාය. මේ සම්බන්ධයෙන් නිවෙස් හිමියා වන ආර්.එම්. කරුණාතිලක විසින් බක්කිඇල්ල පොලීසියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා මහඔය පොලීසියේ නිලධාරීන් සිවු දෙනා අත්අඩංගුවට ගෙන තිබිණි.
ගයාන් කුමාර වීරසිංහ