සක්‍රිය කුඩා ධීවර යාත්‍රාවලට දුන් භූමිතෙල් සහනාධාරය සඳහා මාසිකව රුපියල් 9,375ක මුදලක් ඉදිරි මාස 5 සඳහා ලබා දීමට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. නොවැම්බර් 01 වැනිදා සිට මාස 05ක කාලයක් සඳහා ලබා දීමටත් ඩීසල් යාත්‍රා හිමිකරුවන් සඳහා දැනට දෙන සහනය පෙර පරිදිම දීමටත් අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
ධීවරයන්ට එම සහනාධාරය ලබා ගැනීමේ ක්‍රමවේදය පහසු කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (10) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
ආර්ථික අර්බුදය හේතු කොටගෙන ධීවර කර්මාන්තයට ඇති වී තිබෙන බලපෑම අවම කර, ධීවර කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණින් 2024‑10‑01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි මාස 06ක කාලසීමාවක් සඳහා ඉන්ධන වශයෙන් ඩීසල් භාවිත කරන ධීවර යාත්‍රා හිමිකරුවන්ට ඩීසල් ලීටරයකට රුපියල් 25ක් බැගින් සහ ඉන්ධන වශයෙන් භුමිතෙල් භාවිත කරන ධීවරයන්ට දිනකට භූමිතෙල් ලීටර 15ක් බැගින් මාසික උපරිම දින 25ක් සඳහා භූමිතෙල් ලීටරයකට රුපියල් 25 බැගින් ‘ධීවර කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමේ දීමනාවක්’ ලබා දීමට 2024‑08‑21 වැනි දින පැවති ඇමැති මණ්ඩල රැස්වීමේදී අනුමැතිය දී ඇති බව ඇමැතිවරයා කියා සිටියේය.
ඒ අනුව, ඉන්ධන වශයෙන් භූමිතෙල් භාවිත කරන කුඩා යාත්‍රාවලට අදාළව මෙම සහනය ලබා දීම වඩාත් සරල කිරීමේ අරමුණින් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සක්‍රිය කුඩා ධීවර යාත්‍රා සඳහා අදාළ ධීවර යාත්‍රා හිමියන්ට මාසිකව රුපියල් 9,375ක ‘ධීවර කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමේ දීමනාවක්’ ලබා දීමට ධීවර, ජලජ සහ සාගර සම්පත් ඇමැති රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව ඒ මහතා පැවසීය.
නුවන් කොඩිකාර