Home » කැස්බෑවන් 4ක් මැරූ ධීවරයන් 6කට සිරදඬුවම්

කැස්බෑවන් 4ක් මැරූ ධීවරයන් 6කට සිරදඬුවම්

by sachintha
December 11, 2024 12:57 am 0 comment

මස් පිණිස කැස්බෑවන් හතර දෙනකු මැරූ වෙන්නප්පුව උල්හිටියාව වෙරළ තීරයේ ධීවරයන් 06 දෙනකුට මාස තුනක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් මාරවිල මහේස්ත්‍රාත් අසේල ද සිල්වා මහතා පෙරේදා (09) නියම කළේය.

ඊට අමතරව එක් එක් චුදිතට රුපියල් හැටදහස බැගින් රුපියල් තුන් ලක්ෂ තිස් හය දහසක දඩ මුදලක් ද අධිකරණයෙන් නියම කෙරිණි. දඩය නොගෙවුවහොත් තවත් අමතර මාස තුනක බරපතළ සිරදඬුවමක් ද අධිකරණයෙන් චුදිතයන්ට නියම කළේය.

මෙලෙස සිරදඬුවම් හා දඩ නියම වූයේ වෙන්නප්පුව, උල්හිටියාව ප්‍රදේශයේ අවුරුදු 45ත් – 55ත් අතර වයස්වල පසුවන ධීවරයන් හය දෙනකුටය. වෙන්නප්පුව, උල්හිටියාව වෙරළ තීරයේ ධීවර කටයුතුවල නියැළෙමින් සිටියදී අල්ලා ගත් කැස්බෑවුන් මස් පිණිස සකස් කර හා එම සතුන්ගේ බිත්තර අලෙවි කිරීමට සූදානම් කරන බවට වෙන්නප්පුව පොලීසියට ලද තොරතුරක් මත පසුගිය සිකුරාදා (06) කළ වැටලීමේදී… කැස්බෑ මස් කිලෝග්‍රෑම් 61ක් හා බිත්තර කිලෝග්‍රෑම් 27ක් සහ ඔවුන් මැරීමට උපයෝගි කරගත් තියුණු ආයුධ කීපයක් ද සමඟ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

වන සත්ත්ව හා වෘක්‍ෂලතා ආඥා පනත යටතේ 30-2 උපලේඛනයට අයත් දැඩි ආරක්ෂිත සත්ත්ව කොට්ඨාසයක් ලෙස කැස්බෑවුන් සැලකේ.

හලාවත කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එච්.අයි.ආර්.එන්. පෙරේරා මහතාගේ හා වෙන්නප්පුව දිස්ත්‍රික්භාර සහකාර පොලිස් අධිකාරි අසේල පුල්වංශ මහතාගේ උපදෙස් මත වෙන්නප්පුව මූලස්ථාන පොලීසියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තිළිණ හෙට්ටිආරච්චි මහතාගේ අධීක්ෂණය යටතේ දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද ගුණසේන, පොලිස් සැරයන්වරුන් (8457) සේනක, (72422) නිශාන්ත, පොලිස් කොස්තාපල් (24040) දිල්මිණ යන නිලධාරීහු මෙම වැටලීමට එක් වූහ.

මාරවිල සමූහ – මිහිර විජේසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT