ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන සහ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ඇතුළු ඔවුන්ගේ පවුලේ ආසන්නතම සාමාජිකයන්ට සම්බාධක පැනවූ බව අමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇතැයි රොයිටර් පුවත් සේවය ඊයේ (10) වාර්තා කළේය.
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියාට සම්බාධක පනවා ඇත්තේ එයාර් බස් ගුවන්යානා මිල දී ගැනීමකදී වෙළෙඳපොළේ වටිනාකමට වඩා වැඩි මුදලකට මිල දී ගැනීම සහතික කිරීම සඳහා අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව මත බවත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට සම්බාධක පනවා ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් ගුවන්යානා මිල දී ගැනීමකදී දූෂිත වැඩපිළිවෙළකින් ප්රතිලාභ ලැබූ බවට චෝදනා එල්ල වීම හේතුවෙන් බවත්… අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන බව රොයිටර් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.
යුරෝපීය එයාර් බස් ගුවන්යානා නිෂ්පාදන සමාගම දූෂණ විමර්ශන චෝදනාව සමථයකට පත් කර ගැනීමට නියාමකයන් සමඟ එකඟතාවකට පැමිණීමෙන් පසු ශ්‍රීලන්කන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන්යානා මිල දී ගැනීමේදී අල්ලසක් ලබාගැනීම සම්බන්ධ චෝදනාව විමර්ශනය කිරීමට 2020දී ශ්‍රී ලංකාව නියෝග කර ඇති බවත් රොයිටර් පුවත් සේවය සඳහන් කළේය. ඒ වන විට චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිය නියෝමලී විජේනායක මුදල් විශුද්ධිකරණ සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගැනීමට කොළඹ අධිකරණයකින් නියෝගයක් නිකුත් කර තිබූ බව එහිදී ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ප්‍රකාශ කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව එම සම්බාධක පැනවීමේ නිවේදනය නිකුත් කර ඇත්තේ ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය සහ මානව හිමිකම් දිනය නිමිත්තෙන් වන අතර, තවත් රටවල් රැසක පුද්ගලයන්ට සම්බාධක පනවා ඇතැයි එම නිවේදනයේ සඳහන් වන බව රොයිටර් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. සම්බාධක සඳහා නම් කළ පුද්ගලයන්ට අමෙරිකානු වීසා තහනමක් ද ක්‍රියාත්මක වන අතර, ඔවුන්ගේ නමට අමෙරිකාවේ ඇති වත්කම් ද අත්හිටුවීමට පියවර ගන්නා බව වාර්තා වේ.