අධිකරණ පද්ධතියේ ගෞරවය, ස්වාධීනත්වය සහ අපක්ෂපාතීත්වය ආරක්ෂා කරමින් සෑම ජන කොටසකටම යුක්තිය පසිඳලීම සඳහා තමන් ඇප කැප වන බව නව අගවිනිසුරු, ජනාධිපති නීතිඥ මුර්දු ප්‍රනාන්දු මහත්මිය ඊයේ (10) සඳහන් කළාය. මෙරට අධිකරණ ඉතිහාසයේ 48 වැනි අගවිනිසුරු ලෙස පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන් මුර්දු මහත්මිය පිළිගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ ශ්‍රවණාගාරයේ ඊයේ පැවති නිල උත්සවය අමතමින් ඇය මේ බව සඳහන් කළාය. එහිදී රැස්ව සිටි පිරිස අමතමින් නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළේ නීතිය ප්‍රායෝගිකව යෙදීමේදී එය විනිවිදභාවයකින් මෙන්ම අපක්ෂපාතීත්වයෙන් යුතුව සිදු විය යුතු බවයි. ශ්‍රී ලංකා අධිකරණ ඉතිහාසයේ 48 වැනි අගවිනිසුරුවරයා වශයෙන් වැඩ භාර ගැනීමට ලැබීම වරප්‍රසාදයක් වශයෙන් සලකන බව ඇය සඳහන් කළාය.
“අනාගතය දෙස බැලීමේදී සෑම පුරවැසියකුගේම ජීවිතවලට ‘යුක්තිය’ ඉතා වැදගත් සාධකයක් බව පෙනී යනවා. එය හුදෙක්ම කල්පිතයක් නොවෙයි. හුදු සියලු ජාතීන්ට සියලු පවුල්වලට සියලු ප්‍රජාවන්ට ඉතා වැදගත්ව බලපාන සාධකයක්. ඒ අනුව විනිසුරුවරුන් ලෙස අප සතු යුතුකම හා වගකීම වන්නේ නීතියේ ආධිපත්‍යය තහවුරු කර අපක්ෂපාතීව යුක්තිය විසඳීමයි. එහිදී ජාති ආගම් භේදයකින් තොරව අපක්ෂපාතීත්වය ආරක්ෂා කිරීමට කටයුතු කරනවා.” යැයි ද ඇය පැවසුවාය.
විනිසුරුවරියක වශයෙන් වසර ගණනාවක් කටයුතු කිරීමෙන් තමා ලැබූ අත්දැකීම වන්නේ යුක්තිය පසිඳලීමේ කාර්යයේදී බුද්ධිමත් නීතිඥ මඬුල්ලක් අනිවාර්යයෙන්ම ශක්තිමත්ව සිටිය යුතු බව ඇය සඳහන් කළාය.
නීතිය ප්‍රායෝගිකව යෙදීමේදී සහ අර්ථකථනයේදී එය කිසිවකුට හානියක් නොවන ආකාරයෙන් විනිවිදභාවයකින් සහ අපක්ෂපාතීව සිදුවිය යුතු බව නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය අවධාරණය කළාය.
එම කාර්ය ඉටු කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණය අතර ශක්තිමත් බැඳීමක් බව ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු අධිකරණයේ නිර්මාතෘවරයා මෙන්ම එහි භාරකරු වන බව ද සඳහන් කළාය.
අධිකරණ පද්ධතිය යනු ජනතාවට අයුක්තිය සිදුවීම වැළැක්වීම සඳහා සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂාවට ඇති යන්ත්‍රණය වන බව ඇය සඳහන් කළාය.
තමන් අගවිනිසුරු ධුරයට පත්වූ මෙම අවස්ථාවේදී මව්පියන් සහ පවුලේ හිතවතුන් මෙන්ම අධ්‍යාපනය ලැබූ මොරටුව වේල්ස් කුමරි විද්‍යාලය සහ ශ්‍රී ලංකා නීති විද්‍යාලය සිහිපත් කරන බව ද නව අගවිනිසුරුවරිය ප්‍රකාශ කළාය.
වසර තිස්දෙකක් සේවය කළ නීතිපති දෙපාර්තමේන්තුවෙන් ලැබුණු සහයෝගය ද අගය කරන බව ඇය සඳහන් කළාය. ශ්‍රේෂ්ඨාධිකරණ, අභියාචනාධිකරණ, මහාධිකරණ, දිසා අධිකරණ විනිසුරුවරු, මහේස්ත්‍රාත්වරු ජනාධිපති නීතිඥවරුන් ඇතුළු නීතිඥවරු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
නෙල්කා මැදගෙදර