පැමිණිල්ලක සැකකරුවකු පැහැරගෙන අයුතු ලෙස රඳවා තබා ගනිමින් එම දේපොළ ඒකපාර්ශ්විකව පැමිණිලිකරුට ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු වැඩබලන අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා මහතා ලබන 13 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස රත්නපුර මහේස්ත්‍රාත් සමන් ඩී.කේ. බරනලියනගේ මහතා ඊයේ (10) නියෝග කළේය. 2023 වසරේ අගෝස්තු 2 වැනිදා කුරුවිට මැණික් ව්‍යාපාරිකයකු කොළඹ අපරාධ කොට්ඨාසයට කළ පැමිණිල්ලකට අනුව ඔහුට අයත් රුපියල් කෝටි 14ක් පමණ වටිනා දේපොළ බලහත්කාරයෙන් ලබා ගත් බවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
එම කොට්ඨාසයේ එවකට වැඩබලන අධ්‍යක්ෂ ලෙස සේවයේ නිරතව සිටි සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා මහතා එම පැමිණිල්ල විමර්ශනය කිරීමට තමාට නොහැකි බව පවසා ඇති බවත් පසුව එකී පැමිණිලිකරු පොලිස්පතිවරයාටත් පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාටත් එම පැමිණිල්ල සිදු කිරීමෙන් පසු නැවත එම කොට්ඨාසයට පැමිණිල්ල විමර්ශනයට භාර දී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
පසුව සැකකාර සහකාර පොලිස් අධිකාරිවරයා එම පැමිණිල්ල කොළඹ අපරාධ කොට්ඨාසයේ අංක 3 ඒකකය භාර සහකාර පොලිස් අධිකාරිවරයාටත් එහි ස්ථානාධිපතිවරයාටත් දී තිබූ බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
මෙහි විමර්ශන කටයුතු පවතින අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ අදාළ අංශයේ නිලධාරීන් පිරිසක් රත්නපුරයට ගොස් එම සිද්ධියේ සැකකරු පැහැරගෙනවිත් අයුතු ලෙස රඳවා තබාගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
මැණික් ව්‍යාපාරිකයාගේ පැමිණිල්ල සම්බන්ධයෙන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එසේ තිබියදීත් මැණික් ව්‍යාපාරිකයාගේ පැමිණිල්ලට අදාළව රත්නපුරයේ සිට පැහැරගෙන පැමිණ අයුතු ලෙස රඳවාගෙන සිටි සැකකරු සතුව තිබුණු අදාළ දේපොළ පැමිණිලිකරුට ලබාදෙමින් අධිකරණයට කරුණු වාර්තා නොකර සමථයකට පත්කර ඇති බවත් එසේ සමථයකට පත්කිරීම වරදක් බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
කොළඹ අපරාධ කොට්ඨාසයේ එවකට වැඩබලන අධ්‍යක්ෂවරයාව සිටි මෙම සැකකාර සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා මහතා ඒ අනුව ඒකපාර්ශ්වීයව කටයුතු කර ඇති බවට සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශයට ලද පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා කරුණු දක්වමින් සඳහන් කර සිටියේ තම සේවාදායකයා සම්බන්ධයෙන් නිසි කරුණු තහවුරු කර ගැනීමකින් තොරව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරිවරයාගෙන් මෙන්ම අදාළ අංශයේ ස්ථානාධිපතිවරයාගෙන් ද ප්‍රකාශ සටහන් කරගත යුතුව ඇති නමුත් එසේ ප්‍රකාශ සටහන් කර ගැනීමකින් තොරව තම සේවාදායකයා අත්අඩංගුවට ගෙන ඇති බව ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව කිසිදු වගවිභාගයකින් තොරව තම සේවාදායකයා සැකකාරයකු කරනවා ද නැද්ද යන්න එම ප්‍රකාශවලින් තීරණය නොකොට මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය.
මැණික් ව්‍යාපාරයක් සඳහා යොදවන ලද රුපියල් කෝටි 14ක මුදලක් ආපසු නොදී වංචා කිරීම ගැන නුගේගොඩ ප්‍රදේශයේ අයකු මුලින් කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණිලි කර තිබූ බවත් එහි විමර්ශන අනුව බී19536/23 යටතේ නුගේගොඩ අධිකරණයට කොළඹ අපරාධ කොට්ඨාසය කරුණු ඉදිරිපත් කර තිබූ බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. එම පාර්ශ්ව දෙක දීර්ඝ කාලයක් මැණික් ව්‍යාපාරයේ යෙදී ඇති බවත් කොළඹ අපරාධ කොට්ඨාසයේ විමර්ශන අතරතුරදී කුරුවිට මැණික් ව්‍යාපාරිකයා සැඟවී ඇති බවට නුගේගොඩ පුද්ගලයා කොළඹ අපරාධ කොට්ඨාසයට දැනුම්දී තිබූ බව ද ජනාධිපති නීතිඥවරයා පැවසීය.
පසුව ඔවුන් දෙදෙනා එකඟතාවකට ද පැමිණ ඇතැයි ද ජනාධිපති නීතිඥවරයා පැවසීය. මේ හේතුවෙන් තම සේවාදායකයාට කුමන හෝ ඇප කොන්දේසියක් මත ඇප ලබා දෙන ලෙසට ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීය.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුට ඇප දීම ප්‍රතික්ෂේප කර ලබන 13 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් එදිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මෙහිදී අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරමින් නඩුව එදිනට කල් තැබීය.
නිමන්ති රණසිංහ, කහවත්ත – ලසන්ත නිරෝෂණ පෙරේරා