Home » සැකකරුවකුට වෙඩි තැබූ බවට චෝදනා ලැබූ STF නිලධාරීන් නිදහස්

සැකකරුවකුට වෙඩි තැබූ බවට චෝදනා ලැබූ STF නිලධාරීන් නිදහස්

by chanaka
December 11, 2024 4:04 pm 0 comment

අත්අඩංගුවට ගත් සැකකරුවකුට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් වෙඩි තැබූ බවට එල්ල වූ චෝදනා අධිකරණය විසින් නිෂ්ප්‍රභ කරයි.

2022.10.12 වන දින සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක් විසින් බලපිටිය RIU හෝටලය ආසන්නයේදී ත්‍රීරෝද රථ රියැදුරෙකුට වෙඩි තබා බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියකට අදාළව එවකට පොලිස්පතිගේ නියෝග අනුව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් විසින් විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

අදාළ විමර්ශනය පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් පරීක්ෂක කොළඹගේ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ අතර එම විමර්ශනයේදී මෙම අපරාධය මෙහෙය වන ලද ප්‍රධාන සැකකරු දික්වැල්ල පොලිස් වසමේ සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය කරගත් කරුණු අනුව වෙඩි තැබීම සඳහා යොදාගත් කාර් රථයට ව්‍යාජ අංක තහඩු සවිකරන ලද සැකකරු, අපරාධය සිදු කළ වෙඩික්කරු සහ වෙඩි තැබීමට යොදාගත් ගිනි අවියද සොයා ගෙන තිබේ.

මෙම අපරාධය දැනට බෙලරුස් රාජ්‍යයේ අත්අඩංගුවේ පසුවන කරන්දෙණියේ සුද්දා සහ ලොකු පැටී නැමති සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ආධාර අනුබල දීම මත මෙරට රැදී සිටින මහේෂ් ඉන්දික නොහොත් ඇඹිලිපිටියේ පොඩි ඉන්දික නැමැති සැකකරුගේ මෙහෙයවීමෙන් සිදු කර ඇති බවට කරුණු අනාවරණය වී ඇත.
ඒ අනුව අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වන මහේෂ් ඉන්දික නොහොත් ඇඹිලිපිටියේ පොඩි ඉන්දික නැමැත්තාවිශේෂ කාර්ය බළකා විමර්ශන නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන කටයුත්තක් සඳහා අහුන්ගල්ල ප්‍රදේශයට රැගෙන ගොස් සිටියදී සැකකරු විසින් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට සිදු කරන ලද වෙඩි තැබීමකදී, ඊට විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂක කොළඹගේ නිලධාරියා විසින් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේදී සැකකරු බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් විය.

ජීවිතක්ෂයට පත් වූ සැකකරු අවස්ථා කිහිපයකදී අපරාධයන් සඳහා පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. එනම්,

01. 2016.08.09 වන දින ගොඩකවෙල පොලිස් වසමේ නිවසකට රාත්‍රී කාලයේ ඇතුළු වී ලක්ෂ 37ක් වටිනා මුදල් සහ දේපළ කොල්ල කා පළායාමේදී කල්තොට පොලිස් වසමේදී අත්අඩංගුවට පත්ව ඇත.
02. 2017.06.26 වන දින රාගම පොලිස් වසමේදී T-56 ගිනිඅවියක් පෙන්වා බිය ගන්වා මුදල් කොල්ලකෑම
03. 2020.01.29 වන දින තණමල්විල පොලිස් වසමේදී හෙරොයින් සන්තකයේ තබා ගැනීම සම්බන්ධව අත්අඩංගුවට පත් වීම

සැකකරු වෙඩි හුවමාරුවකදී මිය යාමට අදාළව බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුව සම්බන්ධවසිදු කළ දීර්ඝ විමර්ශනයකින් පසු 2024.07.21 වන දින තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විශේෂ කාර්ය බළකායේ වෙඩි තැබීම සිදු කළ පොලිස් පරීක්ෂක කොළඹගේ නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අධිකරණය විසින් නියෝග කර ඇත.

ඉහත අධිකරණ නියෝග අනුව අහුන්ගල්ල පොලිස් ස්ථානය වෙතවිශේෂ කාර්ය බළකා නිලධාරින් කැඳවා වැඩිදුර ප්‍රකාශ සටහන් කර විමර්ශන ගොනුවක් සහ ඉහත නඩුවට අදාළ සියලු කාර්යය සටහන් සහිත නඩුවේ ලිපි පිටපත් සහිත ගොනුවක් නීතිපතිවරයාගේ උපදෙස් සඳහා යොමු කර තිබේ.

නීතිපතිවරයා විසින් ඊට අදාළව ලිපියක් යොමු කරමින් මෙම නඩු කෘත්‍යට අදාළව කිසිදු පුද්ගලයෙකුට එරෙහිව අපරාධ චෝදනාවක් ගොනු කිරීම සඳහා ප්‍රමාණවත් කරුණු / සාක්ෂි අනාවරණය වී නොමැති බැවින් වැඩිදුර නෛතික පියවර ගැනීමට අපේක්ෂා නොකරන බවට දන්වා ඇත. ඒ අනුව මෙම නඩුව 2024.11.05 වන දින බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයාගේ ලිපිය ඉදිරිපත් කරන ලද අතර, මහේස්ත්‍රාත්වරයා විසින් මේ සම්බන්ධව අවසන් නියෝගයක් ලබා දීම සඳහා නඩුව නැවත 2024.12.10 වන දිනට කැඳවීමට නියම කරන ලදී.

ඒ අනුව අදාළ නඩුව 2024.12.10වන දින බළපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේදී නැවත කැඳවන ලද අතර එහිදී බලපිටිය මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නඩුව නිෂ්ප්‍රභ කරන ලදී.

එසේම මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුගේ අනියම් බිරිඳ විසින් 2022.11.02 වන දින බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්ව විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා සිවිල් ඇඳුමින් සැරසී වෑන් රථයකින් පැමිණි බවටද බොරු සාක්ෂි ලබා දී ඇත.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා 2023.06.13 වන දින බලපිටිය මහේස්ත්‍රාත්වරයා දැනුවත් කීරීමට කටයුතු කළ අතර, ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්ද විමර්ශනයක් සිදු කරන ලදී. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිද්ධිය සම්බන්ධව නීතිපතිවරයා වෙත කරුණු වාර්තා කර ඇති අතර ඊට අදාළව ලද නීතිපතිවරයාගෙන් ලද උපදෙස් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බොරු සාක්ෂි ලබාදීම යන චෝදනාමත අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.

මීට අදාළ නඩුව නැවත 2025.03.25 දින කැඳවීමට නියමිතව ඇත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT