Home » වනාන්තරය මරණයේ නවාතැනයි

වනාන්තරය මරණයේ නවාතැනයි

by sachintha
December 11, 2024 1:53 am 0 comment

දැන් ඉර අවරට යමින් තිබේ. අද දින කෑම සොයන්නට ගොස් ප්‍රමාද වී එන කුරුලු කිරිල්ලියන් අඳුර වෙලාගත් වනාන්තරයට තවමත් ඇදී එයි. ඇළ පාර දිගේ නැඟෙනහිර දිසාවට ආහාර සොයා ගිය ඔවුන්, ඒ ඇළ පහර ඔස්සේම නැවතත් තමන්ගේ නවාතැන්වලට පැමිණෙමින් සිටී.

උදෑසන කෑම සොයාගෙන ගිය සියල්ලෝම නැවත එන්නේ නැත. බොහෝදෙනා තවත් කුසගින්න නිවාගන්නට ගිය සතෙකුගේ ආහාර වේලක් වී අවසන්ය. ඒ කැලෑවේ නීතියයි. කෙනෙකුගේ ජීවිතය තවත් කෙනෙකුගේ ආහාර වේලකි.

කෑම සොයාගෙන යන විටදීම මරණය කොයි මොහොතේ හෝ පැමිණිය හැකි ය. කෑම කමින් සිටියදී ද මරණය කෙසේ පැමිණියේ දැයි කිව නොහැකි ය. තිබහට භය නැතුව වතුර උගුරක් බොන්නට ද කැලෑ නීතිය ඉඩ නොදෙයි. වතුර බොමින් සිටියදීම කිඹුලන් කොයි මොහොතක හෝ ජලයෙන් වහා මතුවී බෙල්ලෙන්ම අල්ලාගෙන ජලයට ඇදගෙන යා හැකි ය. කැලෑ නීතිය ඒ තරම් කුරිරු ය. ත්‍රාසය භීතිය සැකය කුතුහලය කැලෑ සතුන්ගේ ජීවිතයට ආවේණික ලක්ෂණ වේ.

ගස් මුදුන්වල සිටියත්, මහ පොළොවේ සිටියත්, ජලයේ සිටියත්, ඒ තිරිසන් ජීවිතවලට සැනසීමක් නම් නැත. ජීවිතය අනියතය. මරණය නියත ය. උපන් සියල්ලෝම මරණයට පත් විය යුතු ය.

වනාන්තරයේ ජීවත්වන්නන්, වයසට ගොස් ස්වභාවිකව සිදුවන මරණයක් තවම භික්ෂුවට දකින්නට ලැබුණේ නැත. සෑම සත්ව වර්ගයකටම ස්වකීය ආරක්ෂාවට යම් කුමන හෝ විශේෂ හැකියාවක් හෝ උපකරණයක් පිහිටා තිබේ. ඒවා දුර්වල වන මොහොතේ සිට එම ජීවිතවලට හවු හරණක් නැති වේ. මෙතරම් වන සතුන් ගහණ වනාන්තරයේ ස්වභාවික හේතු මත මිය යන්නන්ට වඩා සිටිනුයේ හදිසි විපත්වලින් මැරෙන්නන්‍ ය.

කැලෑ රැජිනගේ වැසියෝද තම තමන්ගේ වරිග වල එකිනෙකාට ආදරය කරති. ඔවුන්ටත් පවුල් ජීවිත ඇත. සමහරුන් රංචු පිටින් වාසය කරන වර්ගවලට අයත් වූවත්, එම වර්ගයේම දඩබ්බර චරිත තනිව වාසය කරන්නට කැමතිය. සමහරුන් වෙනත් රැලවල්වලට එකතු වෙති. එකිනෙකාට වෙනස් චර්‍යා රටා ඇති වනාන්තර වැසියෝ භය සැක නැති පිරිස් එකිනෙකා හඳුනාගෙන ජීවත් වෙති.

ලෙහෙණුන් වලි කුකුළන් සහ සමහර කුරුලු වර්ග ඔවුනොවුන්ට භය සැක නැති නිසා එකට සිටින අවස්ථා තිබේ. නමුත් උකුස්සන් වැනි සත්වයින් කොයි මොහොතක හෝ ඒ ජීවිත උදුරා ගනී. වනාන්තරය මරණයේ මිටියාවතකි. අහෝ මරණය ජීවිතයට කොයි මොහොතක හෝ ළඟා වෙයි.

භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවක පිරිසට දේශනා කර තිබෙන මරණානුස්සති භාවනාවට භික්ෂුව බොහෝ කැමති ය. මේ වනාන්තරයේ පෙනෙන පෙනෙන තෙක් මානයේ ඇත්තේ මරණයයි. භාග්‍යවතුන් වහන්සේගේ මරණානුස්සති භාවනාව වැඩිය යුත්තේ මේ ආකාරයටයි.

යෝගාවචරයා හුදකලාව විවේකීව හිඳ පූර්වකෘත්‍යයන් සම්පූර්ණ කර ගත යුතුය. ඉන්පසුව, සියල්ලන්ටම උරුම මරණය තමන් කරා ද පැමිණෙන්නේ යැයි සිතා, මරණ සංවේගය උපදවා ගත යුතු ය. ඉන්පසුව, ‘අහෝ මරණං අහෝ මරණං අහෝ මරණං’අහෝ මරණය අහෝ මරණය අහෝ මරණය කියා හෝ “ජීවිතය අනියතයි. මරණය නියතයි.’’ කියා හෝ භාවනා කළ යුතු ය. එය නිසා ඔහුට ආනිසංස කිහිපයක් ලැබේ.

මනසිකාර අවස්ථාව සම්පූර්ණ වන විට භාවනා අරමුණෙහි සිත පිහිටීම. ඥාන සම්පයුත්ත වූ සංවේගය ඇති වීම. ජීවිත තණ්හාව බොහෝදුරට අඩු වීම. භාවනාවේ වැඩි වශයෙන් ඇලීම ආදී භාවනා ආනිසංස පහළ වේ. තියුණු නුවණක් ඇති අයට නම් මේ අවස්ථාවේදීම මරණ සතිය සම්පූර්ණ වී උපචාර සමාධි අවස්ථාවට පත්විය හැකි ය.

මෙම කමටහන් වඩන යෝගාවචරයින් අතර, තියුණු නුවණ ඇති අයට, මරණානුස්මෘතිය සම්පූර්ණ වී උපචාර සමාධිය ඇති වේ. කලක් මෙසේ භාවනා කර, එම තත්ත්වයට පත්විය නොහැකි නම්, නැවත අට ආකාරයකින් මරණය සිහි කළ යුතුය.

එම අට ආකාරය නම්, වධක පච්චු පට්ඨානය, සම්පත්ති විපත්ති, උපසංහරණය, කාය බහු සාධාරණය, ආයු දුබ්බලය, අනිමිත්තය, අද්ධාන පරිච්ඡේදය, ඛණ පරිත්ත ය

මෙම ආකාර අටෙන් කැමති එක් ක්‍රමයක් හෝ කිහිපයක් හෝ ගෙන, භාවනා වඩමින් උපචාර ධ්‍යානය උපදවා ගැනීමට උත්සාහවන්ත විය යුතු ය.

1. වධක පච්චු පට්ඨානය

‘මොහුගේ බෙල්ල කපමි.’ යයි කඩුවක් අමෝරා ගත් වධකයෙකුගේ කඩුපහරින්, කොයි මොහොතේ දී හෝ ගෙල සිඳේවි දැයි, කිව නොහැකි වන්නා සේ , උපත සමඟම පැමිණි මරණය, කවර මොහොතක හෝ මේ ජීවිතය පැහැර ගන්නවා යැයි සිතා, ජීවිතයේ අස්ථීර තත්වය සලකා භාවනා කිරීම වධක පච්චූ පට්පඨානය යි.

භාවනා වාක්‍යයෝ

“උත්පත්තියෙන් ගෙන ආ මරණය මාගේ දිවි තොර කිරීමට කඩුව අමෝරා ගත් වධකයකු මෙන් මා පසු පස ම ලුහු බඳින්නේ ය. අහෝ ! කවර මොහොතක හෝ මාගේ මරණය සිදුවිය හැකි ය. ජීවිතය අනියතයි. මරණය නියතයි….’’

“උදා වූ හිරු නොනැවතී අවරට ගමන් කරන්නා සේ, මාගේ ජීවිතය ද, නොනැවතී මරණය කරා ගමන් කරන්නේ ය. අහෝ කවර මොහොතක හෝ මාගේ මරණය සිදුවිය හැකි ය. ජීවිතය අනියතයි. මරණය නියතයි…’’

“අහසට නැඟුණ වලාකුළ සුළඟින් විසිරී යන්නා සේ, මාගේ ජීවිතය උත්පත්තියේ පටන්, නොනැවතී මරණය කරා ගමන් කරන්නේ ය. අහෝ දැන් මේ මොහොතෙහි ද මාගේ මරණය සිදුවිය හැකි ය. ජීවිතය අනියතයි. මරණය නියතයි…’’

“වැසි සමයෙහි දිය පිරී ඇති කුඩා ඇළ දොල නියඟින් සිඳී යන්නා සේ අහෝ! උපන්නාවූ ජීවිතය ඒකාන්තයෙන්ම මරණ නියඟින් සිඳී යන්නේ ය. අහෝ දැන් මේ මොහොතෙහි ද මාගේ මරණය සිදුවිය හැකි ය. ජීවිතය අනියතයි. මරණය නියතයි….’’

“ඉදුණු ගෙඩිය කවර මොහොතක හෝ නටුවෙන් ගිලිහී බිමට වැටෙන්නා සේ, අහෝ! මාගේ ජීවිතය කවර මොහොතක විනාශ වේ දැයි කිව නොහැකි ය. අහෝ! දැන් මේ මොහොතෙහි ද මාගේ මරණය සිදුවිය හැකි ය . ජීවිතය අනියතයි. මරණය නියතයි…’’

“මැටි බඳුනක් මුගුරු පහරින් බිඳී යන්නා සේ , උපන්නා වූ ජීවිතය මරණ මුගුරින් බිඳී යන්නේ ය. අහෝ! දැන් මේ මොහොතෙහිද මාගේ මරණය සිදුවිය හැකි ය. ජීවිතය අනියතයි. මරණයය නියතයි..

“දියෙහි ඇඳි ඉර වහා මැකී යන්නා සේ, මාගේ ජීවිතය ද ඒකාන්තයෙන් ම මරණයෙන් මැකී යන්නේය. අහෝ! දැන් මේ මොහොතෙහි ද මාගේ මරණය සිදුවිය හැකි ය. ජීවිතය අනියතයි. මරණය නියතයි….’’

“හිරු රැස් වැටෙන කල පිනිබිඳු වැනසී යන්නා සේ, මාගේ ජීවිතය ද මරණයෙන් විනාශ වන්නේ ය. අහෝ! දැන් මේ මොහොතෙහි ද මාගේ මරණය සිදුවිය හැකි ය. ජීවිතය අනියතයි. මරණය නියතයි….’’

අහසෙහි දිස්වන විදුලි එළිය සැණෙකින් නැති වී යන්නා සේ, උපන්නා වූ ජීවිතය සැනෙකින් මරණයට යන්නේ ය. අහෝ! දැන් මේ මොහොතෙහි ද මාගේ මරණය සිදුවිය හැකි ය. ජීවිතය අනියතයි. මරණය නියතයි….’’

‘’අහෝ මරණය… අහෝ මරණය… අහෝ මරණය… නිහඬව භාවනා කරමින් උපචාර සමාධිය උපදවා ගැනීමට උත්සාහ කළ යුතුය.

සක්මනෙහිදී, පියවරක් පියවරක් පාසා, ‘’අහෝ මරණය.! අහෝ මරණය.! අහෝ මරණය.!’’ කියා හෝ “ජීවිතය අනියතයි. මරණය නියතයි.’’ කියා හෝ මෙනෙහි කල යුතුය.

2. සම්පත්ති විපත්ති

ජීවිතය කාලයෙහිදී පෙනෙන සියලු සම්පත් මරණ විපත්තියෙන් අවසාන වන බව සලකා භාවනා කිරීම සම්පත්ති විපත්ති යයි.

භාවනා වාක්‍යයෝ

“අහෝ! සියලුම සම්පත්තිය, විපත්තිය ම කෙළවර කොට ඇත්තේ ය. ජීවිතය සම්පත්තිය ද, මරණ විපත්තිය ම කෙළවර කොට ඇත්තේ ය. අහෝ මේ මොහොතෙහිද, මාගේ මරණය සිදුවිය හැකිය. ජීවිතය අනියතයි. මරණය නියතයි.’’

“අහෝ! මාගේ නිරෝගී සම්පත්තිය, ව්‍යාධි විපත්තිය කෙළවර කොට ඇත්තේ ය. ජීවිත සම්පත්තිය ද, මරණ විපත්තිය කෙළවර කොට ඇත්තේ ය. අහෝ! මේ මොහොතෙහිද, මාගේ මරණය සිදුවිය හැකි ය. ජීවිතය අනියතයි. මරණය නියතයි. ‘’

“අහෝ! මාගේ යෞවන සම්පත්ති ය, ජරා විපත්තිය කෙළවර කොට ඇත්තේ ය. ජීවිත සම්පත්තිය ද, මරණ කෙළවර කොට ඇත්තේ ය. අහෝ! මේ මොහොතෙහි ද, මාගේ මරණය සිදුවිය හැකිය. ජීවිතය අනියතයි. මරණය නියතයි.’’

“අහෝ! සියලුම ප්‍රීතිය, ශෝකය කෙළවර කොට ඇත්තේ ය. ජීවිත සම්පත්තියද, මරණ විපත්තිය කෙළවර කොට ඇත්තේ ය. අහෝ! මේ මොහොතෙහි ද මාගේ මරණය සිදුවිය හැකි ය. ජීවිතය අනියතයි මරණය නියතයි.’’

“අහෝ! ප්‍රියයන් හා එක්වීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම කෙළවර කොට ඇත්තේ ය. ජීවිත සම්පත්තියද මරණ විපත්තිය විපත්තිය කෙළවර කොට ඇත්තේ ය. අහෝ මේ මොහොතෙහිද මාගේ මරණය සිදුවිය හැකි ය. ජීවිතය අනියතයි. මරණය නියතයි.’’

“අහෝ! සියලු ලෝක සත්ත්වයා, ජාතිය අනුවම ගියේ ය. ජරාවෙන් වැළඳ ගන්නා ලද්දේ ය. ව්‍යාධියෙන් මැඬ ගන්නා ලද්දේ ය. මරණයෙන් නසන ලද්දේ ය. අහෝ! මේ මොහොතෙහි ද මාගේ මරණය සිදුවිය හැකි ය. ජීවිතය අනියතයි. මරණය නියතයි. අහෝ මරණය… අහෝ මරණය… අහෝ මරණය…”

මෙයින් උපචාර සමාධිය උපදවා ගැනීමට උත්සාහ කළ යුතුය. සක්මනෙහි දී, පියවරක් පියවරක් පාසා, “අහෝ මරණය.! අහෝ මරණය.! අහෝ මරණය.!’’ කියා හෝ “ජීවිතය අනියතයි. මරණය නියතයි.’’ කියා හෝ මෙනෙහි කරනු මැනවි.

සාදු… සාදු… සාදු….

වනගත භික්ෂුවකගේ අත්දැකීම් ඇසුරෙන් ලියැවුණකි.

මීළඟ සතියේදී වනාන්තර වැසියන්ගේ මරණයේ භීතිය සහ ඉතිරි මරණානුස්සති කමටහන බලාපොරොත්තු වන්න

වනගත භික්ෂුවකගේ අත්දැකීම් ඇසුරෙනි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT