අපරාධ ඇල්ලීම සඳහා විශේෂයෙන් සකස් කරන ලද ඒකකයක් වන්නේ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයය. එහි හිටපු ප්‍රධානී ඒ.එස්.පී. නෙවිල් සිල්වා දැන් ඉන්නේ රිමාන්ඩ් බන්ධනාගාරගතවය. හෙතෙම චෝදනාලාභියෙක් පමණක් වුවත් මේ ආකාරයේ කතා අසන විට ජනයාට දැනෙන මට්ටම අප දැන ගත යුත්තේය. චන්ද්‍ර මඬුලු යට සුරංගනාවන් කියන කතා සේ ඒවා මිහිරි නැත. මල්ලක් අරගෙන බිල්ලෙක් එනවා සේ ඒවා සමස්ත සමාජයම බිය ගන්වන්නේය.
රටේ නෛතික ආයතන සඳහා ජනතාවගේ ඇති විශ්වාසය බිමටම පහත් වී බොහෝ කල්ය. “කීයක් හරි දුන්නොත් වැඩේ වෙනවා” යන සම්මතය මේ රටේ රාජ්‍ය ආයතන සඳහා ලැබී ඇති පළමු සහතිකයය. අනික වටේ යැවීමය. ලියකියවිලි මිටි ගණනකි. මේ සියල්ල සමඟ ජනතාව වක්‍ර ආකාරයෙන් රාජ්‍ය සමඟ උරණ වන්නේය.
ඡන්දයකින් ස්ථාපිත වන්නේ ආණ්ඩුවකි. බලයට පත් දේශපාලන පක්ෂය ආණ්ඩුව බවට පත්ව ධාවනය කරන්නේ රාජ්‍යයය. රාජ්‍යය යනු දෙවියන්ගේ දෙයක් ලෙස පළමු කොට ජනතාව සලකන ලද්දේය. මෙය වනාහි වත්මන් දේශපාලන න්‍යායවාද විග්‍රහයේදී ගර්හාවට ලක් වන්නේ වුවද රජය දෙවියන්ගේ දෙයක් සේ ජනතාව තකන ලද්දේ මිථ්‍යාව යන පදනම මත්තේම පමණක් නොවේ, එහි වැදගත්භාවය සඳහා එම සමාජ ක්‍රමයේ තිබූ හොඳම අර්ථදැක්වීම එයය. දෙවියන්ගේ දේ යනු ශුද්ධ වස්තුවකි. මිනිසා එය පරිහරණය කළ යුත්තේ අතිශය ප්‍රවේශම්කාරීව යන අර්ථය මෙහි ගැබ්ව ඇත්තේය. පාලකයා යනු දෙවියන්ගේ තේරීමක් ලෙස මෙය දිගු වන්නේය. ඒ සියල්ල කියා පානුයේ, රාජ්‍යයේ උත්තුංගභාවයය. රජය කියා යමක් අතට හසුවන්නේ නැත. හොබ්ස්, ලොක් සහ රූසෝ යන දාර්ශනික තුන්කට්ටුව විග්‍රහ කරන ලද්දේ රාජ්‍යය යනු සම්මුතියක් ලෙසය. දේවවරම්වාදය වෙනුවට රාජ්‍යය සඳහා පැමිණි එම අර්ථකථනය අනුව සමාජය සිය පාලනය උදෙසා උපරිම ඒකකයක් ලෙස පැමිණෙන එකඟතාවය රජය බවට පත් වන්නේය.
ඔය අර්ථකථන සියල්ල පොතේ ඇති නිර්වචනයන්ය. ජනතාව රාජ්‍ය හඳුනා ගන්නේ තමන් වෙත එය සංවේදනය වෙන ස්ථාන අනුවය. මෙය ද දෙයාකාරය. බදු ගැසීම වැනි ක්‍රියාවලියකදී එය රාජ්‍ය යන්ත්‍රණයේ ක්‍රියාකාරිත්වයක් වුවද පොදුවේ සිද්ධ වන්නකි. තමන් වෙත පමණක් නොව සමූහයක් වෙතම එය බලපාන්නේ බැවින්, තනි ඇඟට එහි දැනෙන ගතිය අඩුය. රියැදුරු බලපත්‍රය ගැනීම සඳහා යන අයෙක් වෙත, ගේට්ටුවේ එළියේ සිට බ්‍රෝකර්ලා කැරකෙන රඟ දැකිය හැකිය. ඇතුළට ගිය කල්හි, රස්තියාදුවේ උපරිම එකය. අත යටින් ගාණ දෙන කෙනා, නීතියට පිටින් වුවද වැඩේ සිද්ධ කර ගන්නේය. එවැනි යමක් පංචේන්ද්‍රියන් වෙත ඍජුව ගෝචර වන්නේය. එතැන් පටන් මිනිසා කලකිරීමට පටන් ගන්නේ රාජ්‍ය ගැනය. පළමු අත්දැකීම අවුල් හෙයින් ඊට වඩා වෙනස් යමක් දෙවැනි අත්දැකිමේදී ලැබෙන්නේ ද නැත. ඒ හා සමාන හෝ එයට එහා ගිය අවුලක් ඊළඟ රාජ්‍ය ආයතන ගනුදෙනුවේදී, පුරවැසියා විඳවන්නේය. මේ ආකාරයට අත්දැකීම් පොදිය බැඳගත් කල, රාජ්‍ය පිළිබඳව වූ ජනතා චිත්‍රය පින්තාරු වන්නේ සපුරාම ජරාජීර්ණ පද්ධතියක් ලෙසය.
කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ තෙමේ අත්අඩංගුවට පත්වන්නේ ගෙවල් අහල පහල වලියක් දමාගෙන නොවේ. අපරාධයක් සම්බන්ධයෙන් යුක්තිය පතා තමන් වෙත පැමිණි අයෙක් වෙත, වංචා කළේය යන චෝදනාව මතය. සරණ පතා ආ කත, කපුවා විසින් දේවාලය ඇතුළේම කෙලෙසුවා වැනි තත්ත්වයකි මේ.
සුරාබදු සඳහා රජය ඇති කර තිබෙන යන්ත්‍රණය පසුගිය කාලයේ ක්‍රියාත්මක වූයේ, අරක්කු කොම්පැනි විසින් පිහිටුවන ලද භාර අරමුදලක් සේය. ඔවුහු කොම්පැනි මඟින් බදු අයකරගනු ලැබුවේ, සමාගම් සතුටු වෙන ආකාරයට මිස, රාජ්‍ය ආදායම තර වෙන ලෙස නොවේ.
රාජ්‍ය යන්ත්‍රණයේ වැඩි වර්ගඵලයක් අල්ලස සහ දූෂණය අත්පත්කරගෙන ඇත්තේය. බොහෝ රාජ්‍ය ආයතන හී එය දැන් සම්මතයක් වන තරමට මුහුකුරා ගොස් ඇත. අල්ලස් සහ දූෂණ යන දෙකේ පරිමාව අවම කර ගැනීම සඳහා වූ රාජ්‍ය යන්ත්‍රණයක් ද තිබේ. එහි ප්‍රධාන බලකණුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවය. පෙරේදා පැවති උත්සවයකදී ජනාධිපති අනුර කුමාර දිසානායක අසන ලද්දේ එම යන්ත්‍රණය ගැන ප්‍රශ්නයකි.
2021 වසරේදී අල්ලස් කොමිසම පැවැරූ නඩු හැටනවයෙන්, හතළිහක්ම කොමිසම ඉල්ලා අස්කරගෙන තිබේ. 2022 වසරේ පැවරූ නඩු 89න් 45ක් සඳහා ද අත්වී ඇත්තේ ඒ ඉරණමය. සිද්ධියක් නොවේ නම් නඩු පැවරීම සඳහා යොමු වන්නේ නැත. ළාමක ක්‍රියාවකට, නඩුකරයක් ගොනු කරන්නට තරම් නොමේරු ඒකකයක් ලෙස අල්ලස් කොමිසම ක්‍රියා නොකරනු ඇත. සිද්ධිය බරපතළ බැවින් නඩු පැවරීම දක්වා දුර ගියද වැඩේ අතරමඟදී අත්හරින ස්ථාවරයක් සඳහා කොමිසම යොමු වූයේ ඇයි යන්න ඉක්මන් පිළිතුරු අවශ්‍ය ප්‍රශ්නයකි. ජනතාව දැන් ඔය යන්ත්‍රණයට හුරුව ඇත්තේ බැවින්, ප්‍රශ්න ‘පැන නොනඟී’ යන ආස්ථානයේ පසුවන්නේය. ඒ පිළිබඳව දැන් ප්‍රශ්න කරන්නේ රටේ රාජ්‍ය නායකයාය. නඩු ඉල්ලා අස්කර ගැනීමට හේතු සහ විමර්ශන නිලධාරීන් නඩුවලදී සාක්ෂිකරුවන් නොවීමට හේතු කවරේ දැයි ජනාධිපතිවරයා ප්‍රශ්න කරන ලද්දේ හෙයින් එයට වහා පිළිතුරක් මේ සමාජය අපේක්ෂා කරන්නේය.
එක් වසරකදී කොස්තාපල්වරු දෙදෙනෙක්, ග්‍රාම නිලධාරිවරයෙක් සහ ලිපිකරුවෙක් අල්ලස් හෝ දූෂණ කොමිසම් සභාව විසින් වරදකරුවන් කරනු ලැබ ඇතැයි ජනාධිපතිවරයා කියා සිටින ලද්දේය. මේ සඳහා බරසාර වියදම් දරා අල්ලස් කොමිසමක් තබා ගත යුත්තේ නැත. පොලිස් පෝස්ට් එකක්, ඒ හරියෙන් ස්ථාපිත කළේ නම් ඔයිට වඩා දෙයක් පහසුවෙන් සිද්ධ කර ගත හැකිව තිබුණි. 2013 ජාත්‍යන්තර දර්ශක අනුව 79 වැනි ස්ථානයේ පැවැති ශ්‍රී ලංකාව, දශකයකට පසුව 115 වැනි ස්ථානය දක්වා පල්ලම් බැස්සේ නම් මේ රටේ අල්ලස් හෝ දූෂණ සෙවීමේ යන්ත්‍රණයට සිද්ධ වී ඇත්තේ කුමක් දැයි ජනාධිපතිවරයා අසා සිටියේය.
රාජ්‍යය යනු සම්මුතියක් නම් මේ දිය වෙන්නේ එයය. ජනතාව සිය රාජ්‍යය පිළිබඳව වූ අගය පහළට වට්ටන්නේ ඔය වැනි සිද්ධි මඟිනි. අල්ලස හෝ දූෂණය රාජ්‍ය යන්ත්‍රණයෙන් පලවා හැරීම සඳහා වූ යන්ත්‍රණය ද අලස සුවය සඳහා පෙලඹී ඇත්තේ හෙයින් රාජ්‍යය පිළිබඳ ජනතා චිත්‍රය හොඳටෝම සේදී ගොස් ඇති වග අවධාරණය කළ හැකිය. හාල් පොල් කතා අස්සේ මේ කතාව වැදගත් වනුයේ, රාජ්‍යය තවදුරටත් වියැකී ගිය හොත්, එය යළි නඟාසිටුවීමට බැරි ගාණට එන්නේ බැවිනි.