වසා දැමූ වලල්ලාවිට, ගුලවිට කනිටු විදුහලේ ගොඩනැඟිල්ල ග්‍රාම ලේකම් කාර්යාලය සඳහා යොදා ගත්තද දිගු කලකින් නිසි නඩත්තුවක් නැතිව රුපියල් ලක්ෂ ගණනක් වටිනා දේපොළ විනාශවෙමින් ගොඩනැඟිල්ල කඩා වැටෙමින් පවතී.
රුපියල් ලක්ෂ ගණනක් වටිනා පන්ති කාමර ගොඩනැඟිලි පාසල වැසී යෑමෙන් පසු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කළුතර කොට්ඨාසය මඟින් ආදර්ශ කෘෂි වගා ව්‍යාපෘතියක් සඳහා යොදා ගනිමින් වල් බිහිව තිබූ පාසල් වත්ත සරුසාර වගා බිමක් බවට පත්කර ප්‍රදේශයටත්, රටටත් ආදර්ශයක් ලබා දෙමින් සුවිශාල සේවයක් සලසනු ලැබීය. ඉන් අනතුරුව මෙම ගොඩනැඟිල්ල ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රයෝජනයට ගනිමින් ග්‍රාම ලේකම් කාර්යාලය බවට පත්කර ගනු ලැබීය. ග්‍රාම නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී, කෘෂි පර්යේෂණ සහකාර නිලධාරී, ඇතුළු ප්‍රදේශයේ රාජකාරීවල නියුතු රාජ්‍ය නිලධාරීන්ගේ නිල නිවාස ලෙසත්, සුබසෙත පදනමේ ප්‍රජා ශාලාව ලෙසත් යොදා ගනිමින් තිබියදි දිගුකලකින් කිසිදු නඩත්තුවක් නොකිරීමෙන් ගොඩනැඟිල්ල ක්‍රමයෙන් ගරා වැටී තිබේ. මේ වන විට ගොඩනැඟිල්ලේ එක් පන්ති කාමරයක් ඉතිරිවෙමින් සෙසු කොටස් කඩා වැටී ගොඩනැඟිල්ලට ස්වභාවික මරණයකට ගොදුරුවීමට ඉඩ තබා සියලු බලධාරින් නිහඬ වෙමින් තිබෙන අයුරු දැකගත හැකිය.
වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම්වරයා භාරයේ පවතින රජය සතු මෙම දේපොළ විනාශ වූ පසු ප්‍රදේශයේ රාජකාරී කරන රාජ්‍ය නිලධාරීන්ට වෙනත් කුලී ගොඩනැඟිලි සොයාගත යුතු වේ. රාජ්‍ය දේපොළ මෙසේ විනාශ වීමට ඉඩදී රාජ්‍ය නිලධාරීන් නිහඬ වීම පිළිබඳ ප්‍රදේශයේ ජනතාව විමතිය පළ කරති. ප්‍රදේශයට ඇති එකම රාජ්‍ය, පොදු දේපොළ ද මෙම ගොඩනැඟිල්ල බව ගුලවිට ජනතාව කියති. එය නටඹුන්ව යෑමට පෙර ප්‍රතිසංස්කරණය කරන ලෙස වගකිවයුතු බලධාරීන්ගෙන් ප්‍රදේශයේ ජනතාව ඉල්ලා සිටිති.
මීගහතැන්න සමූහ