Home » තාවකාලිකව අත්හිටුවනවා කීවත් ඉහළ කදුරුගල්දොල ජල විදුලි බලාගාරයේ ඉදිකිරීම් තවදුරටත්

තාවකාලිකව අත්හිටුවනවා කීවත් ඉහළ කදුරුගල්දොල ජල විදුලි බලාගාරයේ ඉදිකිරීම් තවදුරටත්

-බඹරබොටුව පාරිසරික සංවිධානය කියයි

by sachintha
December 10, 2024 1:17 am 0 comment

වේවැල්වත්ත, ඉහළ කදුරුගල්දොල ජල විදුලි ව්‍යාපෘතිය මධ්‍යම පරිසර අධිකාරිය විසින් තාවකාලිකව අත්හිටවනු ලැබූ බව ප්‍රකාශ වුවත් අදාළ ඉදිකිරීම් නවත්වා නැති බව බඹරබොටුව පාරිසරික සංවිධානය පවසන අතර එවැනි අත්හිටුවීමක් පිළිබඳව ලිඛිත දැනුම්දීමක් ලැබී නැති බව එම කුඩා විදුලි බලාගාරයේ පාලනාධිකාරිය පවසයි.

බඹරබොටුව පරිසර සංරක්ෂණ සංවිධානයේ මාධ්‍ය ලේකම් අනුෂ්ක කළුපහන මහතා පැවසුවේ, කදුරුගල්දොල ජල විදුලි බලාගාරයේ ඉදිකිරීම් තාවකාලිකව අත්හිටුවීමට මධ්‍යම පරිසර අධිකාරිය ගත් තීරණය සබරගමු පළාත් ආණ්ඩුකාරවරිය ඉකුත් 7 වැනිදා දැනුම් දුන් නමුත් 08 වැනිදාත් බලාගාරයේ ඉදිකිරීම් සිදු කර ඇති බවයි. බලාගාරයේ කාර්යාලවල ලබා දී ඇති ලිපිනයන් වැරදි බව ද ඔහු කීවේය. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එස්.එන්. හයිඩ්‍රෝ පවර් පුද්ගලික සමාගමේ බලධාරියකු සඳහන් කළේ මෙගා වොට් දෙකක ජල විදුලි බලය උත්පාදනය කිරීමේ අරමුණින් 2016 වසරේදී පමණ මෙම ඉහළ කදුරුගල්දොල ජල විදුලි ව්‍යාපෘතිය ආරම්භ කළ බවයි. බලාගාරයේ ඉදිකිරීම් නවත්වන ලෙසට මෙතෙක් කිසිදු ලියවිල්ලක් ලැබී නැතැයි ද, එසේ ලැබුණහොත් ඒ ගැන නීතිමය උපදෙස් අනුව ඉදිරි කටයුතු සිදු කරන බව ද එම බලධාරියා පැවසීය. කෙසේ නමුත් 2016 වසරේදී ආරම්භ වූ මෙය නීතිමය කටයුතු නිසා අඛණ්ඩව ක්‍රියාත්මක නොවූ අතර 2024 මැයි මස සිට නැවත ආරම්භ කළ බව ද අදාළ ඉදිකිරීම් සිදු කරන ආයතනයේ බලධාරියා සඳහන් කළේය. අධිකරණ නියෝග ලබා ගැනීමෙන් පසු මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු ආයතනවල කොන්දේසිවලට එකඟව බලාගාරයේ ඉදිකිරීම් කටයුතු සිදු කළ බව ද ඔහු කීවේය. නීතිමය ක්‍රමවේද අනුව ඉදිකිරීම් ආරම්භ කර ඇති මෙම විදුලි බලාගාරය නැවැත්වූ බවට ප්‍රකාශයක් නිකුත්ව ඇතැයි මාධ්‍ය මඟින් දැනගත්ත ද එවැනි අත්හිටුවීමක් ගැන තමන්ට වාර්තා වී නැති බවත් ඔහු පැවසීය. අනීතික ලෙස බලාගාරයේ ඉදිකිරීම් නතර කළහොත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අදහස් කරන අතර මේ ගැන ඉදිරි දිනවලදී මාධ්‍යයට තොරතුරු අනාවරණය කරන බව ද එම බලධාරියා ප්‍රකාශ කළේය. මෙම කුඩා බලාගාරයට රුපියල් මිලියන 404ක් වැය කිරීමට අපේක්ෂිත අතර සෘජු රැකියා අවස්ථා 30 – 40ක් ජනනය වන බව ද ඔහු කීය.

මහජන කැලඹීම්වලට තුඩු දුන් මෙම ඉහළ කදුරුගල්දොල ජල විදුලි බලාගාරය ඉදිකිරීම වසර හතරක සිට සිදු වූ අතර පසුගිය රජය සමයේදී ඒ සඳහා අවසර ලබාගෙන තිබිණි. නමුත් ඉකුත් සතියේදී මෙම විදුලි බලාගාරයේ ඉදිකිරීම් නතර කරන ලෙස ගම්වාසීන් යළිත් උද්ඝෝෂණ කර ඇත. මේ සම්බන්ධයෙන් බඹරබොටුව පාරිසරික සංරක්ෂණ සංවිධානයේ මාධ්‍ය ලේකම් අනුෂ්ක කළුපහන මහතා මෙසේ පැවසීය

“මෙම කුඩා බලාගාරය ගැන කතාබහට ලක් වුණේ වෙනස් කරන ලද පුවතක් නිසායි. ඒත් මේ ප්‍රශ්නය 2016 වසරේ සිටම වරින් වර මතු වුණා. මේවාගේ සංවේදී පාරිසරික කලාපයක විදුලි බලාගාරයකට බලපත්‍ර දුන්නේ කොහොමද කියා අපිට ප්‍රශ්නයක්. ඒ ගැන සොයා බලන ලෙස අපි ඉල්ලා සිටිනවා.”

කහවත්ත ලසන්ත නිරෝෂණ පෙරේරා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT