Home » CCD හිටපු අධ්‍යක්ෂ නෙවිල් ද සිල්වා අත්අඩංගුවට

CCD හිටපු අධ්‍යක්ෂ නෙවිල් ද සිල්වා අත්අඩංගුවට

by sachintha
December 10, 2024 12:59 am 0 comment

කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු වැඩබලන අධ්‍යක්ෂ නෙවිල් ද සිල්වා මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (09) සවස අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය සතිය වන තුරුම කොළඹ අපරාධ කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂවරයාව සිටි නෙවිල් ද සිල්වා මහතාව පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයට ස්ථාන මාරු කිරීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබේ. කොළඹ අපරාධ කොට්ඨාසයට ලද පැමිණිල්ලක පැමිණිලිකරුට වාසි සහගත වන ලෙස පුද්ගලයකු පැහැරගෙන යාම බලෙන් රඳවා ගැනීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය.

2023 අගෝස්තු මාසයේදී රත්නපුරයේ මැණික් ව්‍යාපාරිකයකු විසින් තමාට අයත් රුපියල් කෝටි දාහතක් පමණ වටිනා මැණික් ගල් තොගයක් සොරා ගත් බවට කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් කර ඇත.

එම පැමිණිලිකරු මෙම මැණික් සොරකමට සැකයයි කියන ලද පුද්ගලයකු රත්නපුරයට ගොස් පැහැරගෙන විත් එම පුද්ගලයා ඔහුට අයත් බව කියන මැණික් ගල් තොගයක් අධිකරණයට ඉදිරිපත් නොකර පැමිණිලිකරුට ලබා දීමක් සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ලකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.

මෙම පැහැර ගැනීම සහ අනීතිකව කටයුතු කිරීම සම්බන්ධ කොළඹ අපරාධ කොට්ඨාසයේ සේවයේ නිරතව සිටි පොලිස් පරික්ෂකවරයකුද සම්බන්ධ බව විමර්ශනවලින් අනාවරණය වී තිබේ. ඔහු මේ වන විට රටින් පලාගොස් ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය.

පොලිස් පරික්ෂකවරයා සම්බන්ධයෙන්ද ඉදිරි නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා මහතා අද (10) රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT