Home » කුලී පදනම මත අති සුඛෝපභෝගී වාහන අරගෙන උකස් කර කැසිනෝ ක්‍රීඩා කළ හොර දොස්තර කොටු කර ගනී

කුලී පදනම මත අති සුඛෝපභෝගී වාහන අරගෙන උකස් කර කැසිනෝ ක්‍රීඩා කළ හොර දොස්තර කොටු කර ගනී

by sachintha
December 10, 2024 1:25 am 0 comment

වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් පෞද්ගලික අවශ්‍යතාවයට යැයි පවසා කුලී පදනම මත වාහන ලබාදෙන ස්ථානවලින් අති සුඛෝපභෝගී වාහන ලබාගෙන ඒවාට වංචනික ලෙස ව්‍යාජ සහතික සකසා අධික මිල ගණන්වලට උකස් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ හෝමාගම උප ඒකකය පවසයි.

එලෙස වංචනික ලෙස ලිපි ලේඛන සකසා රුපියල් කෝටි තුනකට උකස් කර තිබූ BMW සහ KDH වර්ගයේ වාහන දෙකක් පොලිස් භාරයට ගත් බව එම ඒකකය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලවත්ත පාමංකඩ ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම පුද්ගලයා කොට්ටාව නගරයේ කුලී පදනම මත වාහන ලබාදෙන ආයතනයකින් KDH වර්ගයේ වෑන් රථයක් ලබාගෙන එම වාහනයේ GPS තාක්ෂණික පද්ධතිය ගලවා ඉවත් කොට කොන්දේසි උල්ලංඝනය කර ඇතැයි පවසමින් කොට්ටාව පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.

ඒ පිළිබඳව කොට්ටාව පොලීසිය පරීක්ෂණයක් පවත්වන අතරතුරදී නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට අයත් හෝමාගම උප ඒකකය මඟින් තවත් විමර්ශනයක් ආරම්භ කරන ලදී. ඒ අනුව එහි ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක බුද්ධික චතුරංග මහතාට ලැබී තිබූ තොරතුරකට අනුව එම වාහනය කුලී පදනම මත ලබාගත් බව පැවසෙන පුද්ගලයා කොට්ටාව නගරයේ දී අත්අඩංගුවට ගෙන තිබුණි.

පසුව ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමකට අනුව කොට්ටාව නගරයෙන් ලබාගෙන තිබූ KDH වර්ගයේ වෑන් රථය රුපියල් කෝටියකට මීරිගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට උකස් කර තිබියදී සොයා ගත් බව පැවැසේ.

එම වාහනයට ව්‍යාජ හිමිකම් සහතික දෙකක් සකසා ඉන් එක් හිමිකම් සහතිකයක් හරහා මෙම ව්‍යාපාරිකයාට KDH වර්ගයේ වෑන් රථය උකස් කර තිබූ බවත් අනෙත් හිමිකම් සහතිකය කඩුවෙල ප්‍රදේශයේ පුද්ගලයෙකුට උකස් කොට තවත් ලක්ෂ අසූවක මුදලක් ලබාගෙන තිබූ බවට තොරතුරු අනාවරණය වූ බවත් පැවැසේ.

පසුව මේ සම්බන්ධයෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීමේ දී මුල්ලේරියාව ප්‍රදේශයේ කුලී පදනම මත වාහන ලබාදෙන ස්ථානයකින් BMW වර්ගයේ මෝටර් රථයක් ලබාගෙන එම වාහනයට ද ව්‍යාජ ලේඛන සකසා විදේශගතව සිට මෙරටට පැමිණ පිළියන්දල ප්‍රදේශයේ පදිංචි ගණකාධිකාරීවරයෙකුට රුපියල් එක්කෝටි විසිපන් ලක්ෂයකට උකස් කර තිබියදී සොයා ගැනීමට හැකි වූ බව පැවැසේ.

මෙම වාහන දෙක සඳහා ව්‍යාජ ලේඛන සැකසීමට මුල් හිමිකරුගේ ව්‍යාජ හැඳුනුම්පතක් පවා සකසා තිබූ බවත් ඒ හරහා වාහනයේ හිමිකම් සහතික, පැවරුම් සහතික, දුම් සහතික ඇතුළු සියලුම සහතික ව්‍යාජ ලෙස සකසා තිබියදී සොයාගත් බවත් පැවැසේ.

මෙම හිමිකම් සහතික සැකසීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ දැනට සේවයේ නිරත නිලධාරියකුගේ සම්බන්ධතාවත් පැවැති බවත් ඔහු රුපියල් ලක්ෂ දෙක බැගින් ලබාදුන් මෙම සහතික සකසා ඇති බවත් ඔහු මේ වනවිට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් පැවැසේ.

අත්අඩංගුවට ගත් සැකකරු මෙම ජාවාරම කරගෙන ගොස් ඇත්තේ ව්‍යාජ වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් වන අතර ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කළ ව්‍යාජ හැඳුනුපතක්ද සන්තකයේ තිබී භාරයට ගත් බව පොලීසිය පවසයි.

 

කොට්ටාව – ප්‍රදීප් කුමාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT