Friday, April 18, 2025
Home » සිරියානු ජනපති පවුලට රුසියාවේ රැකවරණය

සිරියානු ජනපති පවුලට රුසියාවේ රැකවරණය

by sachintha
December 10, 2024 1:29 am 0 comment

කැරලිකාර කණ්ඩායමේ ආක්‍රමණයෙන් පසු රට හැර ගිය සිරියාවේ ජනාධිපති බෂාර් අල් අසාඩ් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට රුසියාවේ රැකවරණය ලබාදී ඇතැයි එරට ටාස් පුවත් සේවය වාර්තා කළේය. ක්‍රෙමලීනයෙන් ලැබූ තොරතුරුවලට අනුව අසාඩ් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් මොස්කව් නුවරට පැමිණි බවත්, මානුෂිකත්වය සැලකිල්ලට ගෙන ඔවුන්ට රැකවරණය ලබාදීමට රුසියාව පියවර ගත් බවත් ටාස් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.

රුසියාව සෑම අවස්ථාවකදීම සිරියාවේ අර්බුදයට දේශපාලන විසඳුමක් අවශ්‍ය බව අවධාරණය කර ඇතැයි ද, එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ පිළිබඳ සාකච්ඡා කළ යුතුව ඇතැයිද ක්‍රෙමලීනයේ ප්‍රකාශයකු සඳහන් කළ බව ටාස් පුවත් සේවය වාර්තා කළේය. සිරියාවේ ආයුධ සන්නද්ධ විපක්ෂය සමඟ රුසියානු නිලධාරීන් සම්බන්ධතා පවත්වමින් සිටින බවත්, එරට පිහිටි රුසියානු හමුදා කඳවුරේ සහ එරට සිටින රුසියානු රාජ්‍යතාන්ත්‍රිකයන්ගේ ආරක්ෂාව පිළිබඳ එම කණ්ඩායමේ නායකත්වය සහතික කර ඇති බවත් ටාස් පුවත් සේවය සඳහන් කළේය.

කෙසේ වුවද සිරියානු ජනාධිපතිවරයා රටින් පිටවීමට පෙර ඊජිප්තුව, ජෝර්දානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් සහාය ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඔහු පෞද්ගලිකවම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සෙයිඩ් අල් නහ්යාන්ට දුරකතන ඇමැතුමක් ලබාදී ඇතැයිද, පසුව ඊජිප්තු,ජෝර්දාන සහ සෙසු අරාබි රටවල නායකයන්ට දුරකතන ඇමැතුම් දී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. එහෙත් සිරියාවේ බලය රැක ගැනීමට කිසිදු අරාබි රාජ්‍ය නායකයකු බෂාර්ට එකඟතාව පළ වී නැති බවත් වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT